නොදැනුවත්කම නිසා ඔබේ බලු සුරතලාගේ ආයු කාලය ඔබ විසින්ම කෙටි කරනවද?

April 3, 2024
ලිපි සැක​සු​ම
Primary Item (H2)

මේ ප්‍රශ්නය හරිම අමුතු ප්‍රශ්නයක් කියල ඔයාට හිතෙන්න ඇති. ඒත් ඇත්තටම මේ අපි කියන්න යන දේවල් වලින් අවම වශයෙන් එක වැරද්දක් හෝ ඔයා මේ වන විටත් කරමින් ඉන්නව වෙන්න පුළුවන්. ඒ කිසිවක් ඔයා සිතාමතා සිදු නොකරන නමුත්, ඔයාගෙ ක්‍රියාකලාපයන් හෝ ඔහගෙ නොසැලකිළිමත්භාවය ඔයාගෙ බලු සුරතලාගේ ආයු කාලය මේ වනවිටත් සැලකිය යුතු මට්ටමකින් අවම කරල තියෙනව වෙන්නට පුළුවන්.

ඉතින් මේ ලිපිය කියවීමෙන් ඔයාට පුළුවන් එහෙම වෙන්නෙ කොහොමද කියල දැනගන්න. සමහරවිට බොහෝ දෙනාට මේවගේ ලිපියක් කියවන්නට ලැබෙන්නේ පළවෙනි වතාවට වෙන්නත් පුළුවන්. අන්න ඒක නිසාම මතක ඇතිව මේක සුරතලුන්ට ආදරේ කරන ඔයාගෙ යාළුවො අතරෙ ශෙයා කරගෙනම කියවන්න පටන් ගන්න. එහෙනම්, අපි එකින් එක බලමු ඔයාගෙ නොදැනුවත්කම නිසා ඔයාගෙ බලු සුරතලාගෙ ආයු කාලය අඩු වෙන්න බලපාන හේතු මොනවද කියල.

01 සුරතලාට තරබාරු වීමට ඉඩ හැරීම

ගොඩක්ම බලු සුරතලුන් ඇති කරන්නන් කරන වැරද්දක් තමයි තමන්ගෙ සුරතලාගෙ බර ගැන නිසි සැළකිල්ලක් නොදැක්වීම. ගොඩ දෙනෙක් තමන්ගෙ සුරතලාට අනවශ්‍ය තරම් ආහාර ලබාදෙන්නට කටයුතු කරන්නේ සුරතලුන් කෙරෙහි ඇති ආදරය වැඩි කමට වෙන්නට පුළුවන්. නමුත් ඒක ඔවුන්ව ලොකු අවධානමක හෙළනවා.

Davis හි California විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයකට අනුව, අධික බරැති සුනඛයන් දියවැඩියා රෝගය සහ ඔස්ටියෝ ආතරයිටිස් ඇතුළු බොහෝ බරපතල රෝග තත්වයන්ට මුහුණ දීමේ ප්‍රවනතාවයක් හඳුනාගෙන තියෙනවා. ඊට අමතරව අධික තරබාරු සුනඛයන්ට ක්‍රියාශීලී වීමට අපහසු නිසා, වෙනත් සුනඛයන්ගේ හදිසි ප්‍රහාර වලට පවා මුහුණදීමට අපහසු වන්නට පුළුවන්.

ඉතින්, තරබාරු බව සෑම අතින්ම එතරම් හොඳ කාරනාවක් වන්නේ නැහැ. ඒ නිසාම තමන්ගෙ බලු සුරතලාගෙ බර ගැනත් ලබාදෙන ආහාර ප්‍රමාණයන් ගැනත් සැලකිලිමත් වීම බොහොම වැදගත් කාරණයක්. දියයුතු ආහාර ප්‍රමාණය සහ තිබිය යුතු බර එක් එක් සුනඛ වර්ගය මත වෙනස් වන නිසා මේ සඳහා පශු වෛද්‍යවරයකුගේ අදහස් ලබාගන්න ඔයාට පුළුවන්.

ඒ වගේම සුනඛයන් සඳහා නොදිය යුතු විශේෂිත ආහාර වර්ග ලයිස්තුවකුත් අපි මීර පෙර ලිපියකින් ඔබ වෙත ගෙන ආවා. ඒ පිළිබඳව වැඩි විස්තර ඔබට මෙතනින් කියවන්න පුළුවන්: ඔබේ බලු සුරතලාට කිසිදා ලබා නොදිය යුතු භයානක ආහාර වර්ග 25 ක්

02 ඕනෑවට වඩා හුදකලා කිරීම

ඔයාගෙ බලු සුරතලා ඕනෑවට වඩා හුදකලා කිරීම, ඔවුන් විශාල බලු කූඩුවක තැබීම, ඔවුන් නොසලකා හැරීම හෝ වෙනත් සුනඛයන් සමඟ ඇසුරු කිරීමට ඉඩ නොදීම ආදී කටයුතු ඔවුන්ගේ ආයු කාලය අවම කරන්නට සෘජුවම බලපානවා. මොකද සුනඛයන්ට, වෙනත් සුනඛයන් සහ මිනිසුන් ඇසුරු කිරීමේ සහජ අවශ්‍යතාවයක් පවතිනවා. ඒ අවශ්‍යතාව ඉටු නොවීම එම සතුන්ව දැඩි මානසික පීඩනයටකට ලක් කරනවා. වෙනත් සුනඛයන් නැතත් අවම වශයෙන් නිවැසියන් සමගවත් ඔවුන්න්ට ඇසුරු කිරීමට ඉඩ ලබා දිය යුතුය.

මේ නිසා හැකි හැම විටම, ඔයාගෙ බලු සුරතලාව, කූඩුවට සිරකර හෝ නිවසේ බිත්ති අතර සිරකරගෙන තබා නොගෙන, හැකිතාක් බාහිර පරිසරයට නිරාවරණය කරන්නට වගබලා ගතයුතු වනවා. නමුත් සෑම විටම බලු සුරතලා ඔයාගෙ පාලනයේ සිටීම අනිවාර්යයි. මොකද, බාහිර පරිසරයට නිරාවරණය වීමේදී සුරතලාට සිදුවිය හැකි හානි වගේම සුරතලාගෙන් මිනිසුන්ට සහ වෙනත් සතුන්ට සිදුවිය හැකි හානිත් ඕනෑ තරම් තියෙනවා.

03 ප්‍රමාණවත් පරිදි ව්‍යායාම ලබා නොදීම

සුනඛයෙක්ගෙ දින චර්‍යාවේ අත්‍යාවශ්‍යම අංගයක් තමයි ව්‍යායාම කියන්නෙ. මොකද බොහෝමයක් සුනඛ විශේෂ ඉතා ක්‍රියාශීලී වීමට නැඹුරුවක් පෙන්වනවා. ඊටත් අමතරව ක්‍රියාශීලී නොවන සුනඛය වර්ගයන්ට පවා හොඳ සෞඛ්‍ය මට්ටමක් පවත්වාගන්න ව්‍යායාම කියන්නෙ අත්‍යාවශ්‍යම දෙයක්.

මේ ‘ව්‍යායාම’ යන්නෙන් අදහස් කරන්නේ සරල ඇවිදීමක සිට උද්‍යානයක දිවීම, ඔවුන්ගේ විශේෂ සෙල්ලම් බඩුත් සමඟ සෙල්ලම් කිරීම ආදී ඕනෑම ආකාරයක ක්‍රියාකාරකමක් විය හැකිය. මේ ආකාරයේ ප්‍රමාණවත් ශාරීරික ක්‍රියාකාරකම් වලට ඔයාගෙ බලු සුරතලා යොමු නොකලොත්, ඔවුන් පහසුවෙන්ම ඉතා උදාසින වීමට උත්සාහ කරනවා. ඒ හැසිරීම දීර්ඝකාලීනව රෝග රැසකට අත වනනවා. ඒ නිසා මේ ගැන ඔබේ අවධානය අත්‍යාවශයයි.

04 පශු වෛද්‍යවරයකු වෙත ගෙන නොයෑම

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ බොහොමයක් දෙනා, තමන්ගෙ සුරතලුන් පශු වෛද්‍යවරුන් වෙත ගෙනයන්නේ තමන්ගෙ සුරතලුන්ට යම්කිසි රෝගාබාධයක් වැළදුනු අවස්තාවක හෝ විශේෂ එන්නතක් වැනි දෙයක් ලබාදීමට නියමිත අවස්ථා වල පමණයි. නමුත්, ඇමරිකානු පශු වෛද්‍ය සංගමය නිර්දේශ කරන්නේ සුනඛයන් අවම වශයෙන් මාස හයකට වරක් පශු වෛද්‍යවරයෙකු වෙත ගෙන යා යුතු බවයි.

එසේ කිරීමෙන්, සුරතලාගෙ නිසි වයසට ගැලපෙන පෝෂණය, නියමිත බර, ක්‍රියාකාරකම් වගේම නියමිත ඖෂධ මොනවද කියල ඔයාට දැනගන්න පුළුවන්. ඒත් සමඟම සුරතලාට වැලදෙන්නට පුළුවන් රෝග කල්තියාම හඳුනගන්නත් ඔයාට හැකියාව ලැබෙනවා. ඒ නිසා, අවම වශයෙන් මාස 6කට වරක්වත් ඔයාගෙ බලු සුරතලාව පශු වෛද්‍යවරයෙක් වෙත රැගෙන යන්න අමතක කරන්න එපා.

05 ප්‍රධාන ආහාර වේල් වලට අමතරව නිතර කෙටි ආහාර ලබාදීම

ඔයා ඔයාගෙ බලු සුරතලා යම්කිසි දස්කමක් ප්‍රදර්ශනය කරන අවස්ථාවක, නැතිනම් ඔයා යම්කිසි කෙටි ආහාරයක් ගනිමින් ඉන්න වෙලාවක, එහෙමත් නැතිනම් කිසිම විශේශතාවක් නැති වෙලාවක ඔයාගෙ බලු සුරතලාට විවිධ කෙටි ආහාර ලබාදෙනව නම්, ඔයා කරන්නෙ ලොකු වරදක්.

සරලවම එසේ කිරීම බර වැඩි වීමට, දියවැඩියාව සහ ආතරයිටිස් වැනි රෝග තත්ව ඇතිවීමට වගේම, දීර්ඝකාලිනව ඔවුන්ට මානසිකවත් බලපාන්නට පුළුවන්. මොකද, ඔවුන් කුඩාකල සිටම දස්කමක් දැක්වු අවස්ථාවක කෙටි ආහාරයක් ලබාදී සතුටු කිරීමට පුරුදු වී සිටියානම්, එය එසේ නොවන අවස්තා වල ඔවුන්ගේ සාමාන්‍ය හැසිරීම වෙනස් අතකට හැරෙන්නට පුළුවන්.

06 නිසි පෝෂණයක් ලබා නොදීම

සුනඛයන්ට ලබාදෙන ආහාර ගැන ශ්‍රි ලංකාවෙ ගොඩක් දෙනෙක් එතරම්ම සැලකිල්ලක් දක්වන්නෙ නැහැ. බොහෝ දෙනා එදිනෙදා තමන් කන ආහාරම සුනඛයන්ට ලබාදෙන්නට පෙළබෙන්නේ ඒ නිසයි. නමුත්, ඔබේ බලු සුරතලාගේ නිසි සෞඛ්‍ය තත්වය පවත්වාගන්න නම් ඔවුන්ට නිසි පෝෂණ කොටස් සහිත අහාරයක් ලබාදෙන එක අත්‍යාවශ්‍ය කාරණයක්.

සරවල ඔවුන්ගේ ආහාරය ප්‍රෝටීන් බහුල, නමුත් මේදය සහ කෙඳි අවම ආහාරයක් වෙන්නට අවශ්‍යයි. ඒ වගේම ශක්තිමත් අස්ථි සඳහා calcium, නිරෝගී රුධිර සෛල සඳහා iron, හෘද සෞඛ්ය සඳහා taurine, ප්රජනක කාර්යය හොඳින් කිරීම සඳහා zinc, thyroid කාර්යයන් සඳහා selenium සහ ශරීර ශක්තිය පවත්ව ගැනීමට විටමින් B3 වැනි පෝෂක කොටස් සහිත ආහාර හෝ ආහාර අතිරේක ඔවුන්ට ලබාදිය යුතුම වනවා.

07 රෝග ලක්ෂණ නොසලකාහැරීම

බොහෝමයක් නවක සුරතල් සතුන් ඇති කරන්නන් හට ඔවුන්ගේ සුරතලුන්ගේ රෝග ලක්ෂන ගැන වැඩි අවබෝධයක් ඇත්තේ නැහැ. නමුත් සරලවම, තමන්ගේ සුරතලා වෙනදා දක්වන හැසිරීම් වලට වඩා වෙනස් හැසිරීමක් දක්වන්නේ නම්, ඔවුන් යම්කිසි අපහසුතාවයකින්, ආහාර ගැනීම ප්‍රතික්ෂේක කිරීමකින්, ක්‍රියාශීලී මද ගතියකින් පෙලෙනවා නම් හැකි ඉක්මනින් පශු වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යාවශ්‍යයි.

ඒ හමුවීමේදී ඔයා දැක්ක වෙනස්කම් සියල්ලම ගැන තොරතුරු පශු වෛද්‍යවරයාට දැණුම් දීමට කටයුතු කිරීමද අනිවාර්‍යයි. මොකද, පශු වෛද්‍යවරයාට නිවැරදි රෝග නිර්ණයකට සහ ඖෂධ නියම කිරීමකට එය වඩාත් පහසුවක් වනවා.

08 දත් ගැන අඩු සැලකිල්ලක් දැක්වීම

සුනඛයන් කියන්නෙ මිනිසුන් මෙන් දත් මැදීමක් අවශ්‍ය සත්ව කොට්ටාශයක් නොවෙයි. නමුත් එසේ සුරතලාගේ දත් මදින අය ඕනෑතරම් ඉන්නවා. එය සුරතලා වෙනුවෙන් කරන අමතර සැලකිල්ලක් වශයෙනුත් හඳුන්වන්නට පුළුවන්. ඒත් ඔයා ඊට වඩා සැලකිලිමත් වෙන්නට අවශ්‍ය සුරතලාගේ මුඛ සෞඛ්‍ය ගැටලු තියෙනවා.

ඒ අනුව විදුරුමස් වලින් ලේ ගැලීම, කාලයක් තිස්සෙ මුඛයෙන් අධික දුගධක් වහනය වීම, අනවශ්‍ය ලෙස කෙල ගලායෑම, සැපීමේ අපහසුතා වගේ රෝග ලක්ෂණ නිරීක්ෂණය උනොත් වහාම පශු වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්න අමතක කරන්න එපා. මොකද ඒ වගේ මුඛ සෞඛ්‍ය ගැටලු, ඔයාගෙ සුරතලාට දීර්ඝකාලීන සෞඛ්‍ය ගැටලු ගෙනදෙන්න පුළුවන්.

Related article: ඔයාගේ බලු සුරතලාගේ මුඛය පිරිසිදුව තබා ගන්නේ කොහොමද?

09 වෙනත් සුනඛයින් සමඟ රණ්ඩු වීමට ඉඩහැරීම

ඔයාගෙ බලු සුරතලාව සිතාමතාම අවධානයේ දමන අවස්තාවක් තමයි වෙනත් සුනඛයන් සමඟ රණ්ඩු වීමට ඉඩහැරීම. මේක, සිතාමතා කරන වැරද්දක් කියන්න හේතුව තමයි, එවැනි අවස්ථාවක් වලක්වාගන්න ඕනෑ තරම් ක්‍රමවේද තිබීම. ඔයාගෙ සුරතලා එලිමහනයට රැගෙනයන අවස්ථා වල පටියකින් බැඳ රැගෙන යාම, වෙනත් සුනඛයින්ට ඔයාගෙ නිවසේ සීමාවට පැමිණීමට නොදී වැලැක්වීම වගේ සරල පියවර මේකෙදි ඔයාට අනුගමනය කරන්න පුළුවන්.

එසේ නොකලහොත්, සිදුවිය හැකි හදිසි සපාකෑමකදී ඔයාගෙ බලු සුරතලාට මාරාන්තික තුවාල, අතපය කැඩීම් පවා ඇතිවෙන්නට හැකි අතරම, ජලභීතිකාව (rabies) සහ tetanus වැනි බෝවන රෝග තත්වයන්ද පහසුවෙන් ඇතිවන්නට පුළුවන්.

10 සනීපාරක්ෂාව ගැන නොසැලකිල්ල

ඔයාගෙ බලු සුරතලාගෙ ආයු කාලය අවම කරන තවත් ප්‍රධානතම ආකාරයක් තමයි, නිසි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය නොකිරීම කියල කියන්නෙ. නිසි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය නොකිරීම සෑම අතින්ම ඔයාගෙ බලු සුරතලාට හානි දායක වෙන්නට පුළුවන්.

මොකද විවිධ පරපෝෂිතයන් බෝ වීම, අනවශ්‍ය ආකාරයෙන් ලොම් වැවීම, ආදී තත්වයන් වගේම අපිරිසිදු වීම නිසා ඇතිවිය හැකි දද කුශ්ඨ දක්වා විශාල පරාසයක අවධානම් වලට මේ දුර්වල සනීපාරක්ෂාව සෘජුවම වගකියනවා. එක් එක් සුනඛ විශේෂ සඳහා සනීපාරක්ෂක ක්‍රම විවිධාකාර වන නිසා, ඒ ක්‍රම අනුගමනය කිරීමේදී පශු වෛද්‍ය උපදෙස් නැගීම වඩාත් යෝග්‍ය වනවා. අපිත් ඉදිරියේදි ඒ දේවල් ගැන තව දුරටත් කතා කරමු.

ඉතින්, දැන් ඔයා දන්නව, ඔයත් නොදැන කරන වැරදි නිසා ඔයාගෙ බලු සුරතලාගෙ ආයු කාලය අඩු වෙන්නෙ කොහොමද කියල සහ ඒ දේවල් මඟහැරගන්නෙ කොහොමද කියලත්. ඉතින් නැවතත් මතක් කරන්නෙ, මේ ලිපිය වැදගත් කියල ඔයාට හිතෙනව නම් මතක ඇතිව යාලුවොත් එක්ක ශෙයා කරගන්න. ඒ වගේම, ඔයාගෙ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් ලිපියකින් ආයෙත් හමුවෙමු.

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
4.1 8 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
crossmenu