සුනඛයින්ට වැළඳෙන පාවෝ වෛරසය (Parvovirus) - භයානකයි! නමුත් වැලැක්විය හැකියි

June 5, 2024
ලිපි සැක​සු​ම
Primary Item (H2)

සුනඛයන්ට වැළඳෙන භයානකම වෛරසයක් තමයි පාවෝ වෛරසය කියන්නේ. මේක ලොව පුරා සුනඛයන් අතර පොදුවේ දැගන්නට පුළුවන් රෝගී තත්වයක්. නමුත් සතුටට කරුණ නම් මේ රෝගය එන්නත් මඟින් වලක්වාගත හැකි වීමයි. මේ ලිපියෙන් අපි බලමු පාවෝ රෝගය ගැන ඔබ දැනගත යුතු හැම දෙයක්ම. ඒ කියන්නේ ඔබේ බලු පැටියාව ආරක්ෂා කරගන්නේ කොහොමද, රෝග ලක්ෂණ මොනවාද, ඔබේ සුරලතලා අසනීප වුණොත් කළ යුත්තේ මොනවද කියන කාරනා ගැන. මොකද, එන්නත් මඟින් වලක්වාගන්නත් ඔබ මේ ගැන හැමදේම දැනගෙන සිටීම වැදගත්.

පාවෝ වෛරසය කියන්නෙ මොකක්ද?

පාර්වෝ, හෙවත් Canine Parvovirus (CPV) කියන්නේ සුනඛයින් අතර ඉතාමත් වේගයෙන් බෝවන සුළු DNA වෛරසයක්. මේ වෛරසය සුනඛයින්ගේ ශරිරය තුළ ඇති සෛල වලට පහර දීම තමයි සිදු කරන්නේ. ඒ නිසා තමයි බඩවැල් වල ආස්තරණයට සහ අස්ථි ඇට මිදුළු වලට මේකෙන් විශාල හානියක් සිද්ධ වෙන්නේ. බඩවැල් වල ආස්තරණයට හානි වීම නිසා තමයි මේ රෝගය වැලදුනු සුනඛයින්ට කෑම අරුචිය, වමනය, සහ ලේ සමඟ පාචනය වගේ රෝග ලක්ෂණ මතු වෙන්නේ.

මේ වෛරසය බලපාන්නේ වැඩි වශයෙන්ම ලාබාල සහ එන්නත් නොදුන් බල්ලන්ට. ඒ කියන්නේ සති 6 සිට මාස 6 දක්වා වයසැති බලු පැටවුන්ට මේ රෝගය වැළඳීමේ වැඩි අවදානමක් තියෙනවා. ඒ වගේම පාවෝ එන්නත නොලැබූ ඕනෑම වයසක බල්ලෙකුටත් මේක බෝ වෙන්න පුළුවන්.

විශේෂයෙන්ම සති 6ට අඩු පොඩි පැටවුන්ගේ නම්, මේ වෛරසය හදවතේ මාංශ පේශි වලටත් හානි කරන්න පුළුවන්. ඒක එම සත්වයාට බොහොම කුඩා වයසකදී වුවත් හෘදයාබාධයකට තුඩු දෙන්න පුළුවන් තරම් බරපතළ තත්ත්වයක්.

පාවෝ රෝග ලක්ෂණ මොනවාද?

බල්ලෙකුට පාවෝ වෛරසය වැළඳුනාට පස්සේ දවස් 3ත් 7ත් අතර කාලයක් ඇතුළත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් ගන්නවා.

මුල් අවධියේදී:

  • උදාසීන ගතිය
  • කෑම අරුචිය
  • උණ

රෝගය වර්ධනය වන විට:

  • බඩේ අමාරුව
  • වමනය
  • පාචනය

ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන පැටවුන්ට:

  • කඩා වැටීම
  • හෘද ස්පන්දන වේගය වැඩිවීම
  • හුස්ම ගැනීමේ අපහසුතා
  • ශරීර උෂ්ණත්වය අඩුවීම
  • රුධිර සීනි මට්ටම අඩුවීම

මෙම රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක්, ඔබ නිරීක්ෂණය කළ වහාම පශු වෛද්‍යවරයෙකු වෙත යොමුවීම අනිවාර්ය වෙනවා. ඉන් පසුව, පශු වෛදවරයා, වෛරසය හඳුනාගැනීම සඳහා වන පරීක්ෂණ කටයුතු සිදුකරනවා. පාවෝ වෛරසය හඳුනාගන්න ලේසිම ක්‍රමය තමයි මළ මූත්‍රා පරීක්ෂාවක් කරන එක. ඒ කියන්නේ සුනඛයාගේ මළපහ වලින් සාම්පලයක් අරගෙන ඒක පරික්ෂා කිරීමයි සිදුවෙන්නෙ. මේක විනාඩි 10ක් වගේ කෙටි කාලයකින් කරන්න පුළුවන් පරීක්ෂණයක්. ඒ වගේම මේක එක පරීක්ෂණයකින් හොඳ නිර්වශ්‍ය ප්‍රථිඵලයක් ලබාගන්නට හැකි පරීක්ෂණයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්.

සුනඛයින්ට පාවෝ වෛරසය හැදෙන්නේ කොහොමද?

මූලික වශයෙන් පාවෝ වෛරසය ආසාදිත සුනඛයින්ගේ මළ මූත්‍ර සමඟ ස්පර්ශ වීමෙන් තමයි පැතිරීම සිදුවන්නේ. විශේෂම දේ තමයි, මතුපිට මළ මූත්‍ර පෙනෙන්නට නොතිබුනත්, වියලි මතුපිටක් වුවත් වෛරසය තියෙන්න පුළුවන්. ඒ වගේම පාවෝ වෛරසය සුනඛයින්ගේ ලොම් වල හෝ පාදවලත් තියෙන්න පුළුවන්. කලින් සඳහන් කලා වගේම පාවෝ වෛරසය ඉතා පහසු බෝවන රෝගයක් වන අතර මාස ගණනක්, සමහර විට අවුරුදු ගණනක් පරිසරය තුළ නොනැසී පැවතිය හැකියි. භයානකම කරුණ නම් මේ වෛරසය බොහෝ විෂබීජ නාශක වලටද ප්‍රතිරෝධී වීමයි. කෙසේ වෙතත්, එය තනුක ක්ලෝරීන් සහ පශු වෛද්‍ය රෝහල්වල බහුලව භාවිතා වන සමහර විශේෂිත පිරිසිදුකාරක වලින් පාලනය කිරීමෙ හැකියාව පවතිනවා.

මිනිසුන්ට පාවෝ වෛරසය හැදෙන්න පුළුවන්ද?

බය වෙන්න දෙයක් නැහැ. පාවෝ වෛරසය බෝ වන්නේ බල්ලන් අතර පමණයි. මිනිස්සුන්ට බෝ වෙන්නේ නැහැ. ඒ කියන්නෙ, කිසිම අවස්ථාවක බල්ලෙකුගෙන් මිනිසෙකුට හෝ මිනිසෙකුගෙන් බල්ලෙකුට පාවෝ වෛරසය බෝ වෙන්නෙත් නැහැ.

පාවෝ වෛරසයට ප්‍රතිකාර කරන්නේ කොහොමද?

ඇත්ත වශයෙන්ම, පාවෝ වෛරසයට නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ. ප්‍රතිකාර ක්‍රම රඳා පවතින්නේ රෝගයේ බරපතලකම සහ එය සුනඛයාගේ ශරීරයට සිදු කර ඇති හානිය මතයි. ඒ වගේම, පාවෝ වෛරස් ආසාදනයකින් සුවය ලැබීමට ගතවන කාලයත් සුනඛයාගෙන් සුනඛයාට වෙනස් වනවා. රෝගයේ බරපතලකම සහ එය සිදු කර ඇති හානිය අනුව පූර්ණ සුවය ලබා ගැනීමට බොහෝ කාලයක් ගත විය හැකියි.

පර්වෝ වෛරසය වැළඳුනු සුනඛයෙක්රෝහල්ගත කරන කාලය සාමාන්‍යයෙන් දින පහක් හෝ හතක් පමණ වනවා. නමුත් මෙය රෝග ලක්ෂණවල බරපතලකම අනුව වෙනස් විය හැකියි. ඒ වගේම, ඔබ හොඳින් මතක තබාගත යුතු කරුණක් තමයි සුනඛයෙකු තුළ පාවෝ රෝග ලක්ෂණ නිරීක්ෂණය කිරීමෙන් පැය 24-72 අතර කාලය තුළ ඔවුන්ගේ මරණීය අවදානම ඉහළම අගයක පවතිනවා. එම නිසා පශුවෛද්‍යවරයකු වෙත රැගෙන යාමේ කාර්‍ය ඔබට හැකි ඉක්මනින් කළ යුතු වනවා.

පාවෝ රෝගය වැළඳුණු බලු පැටියෙකු රෝහල් ගත කර, ප්‍රමාණවත් සහය ලබා දී, සමීපව නිරීක්ෂණය කළහොත් සාමාන්‍යයෙන් සුව වීමේ අනුපාතය 85-95% ක් පමණ වෙනවා. එය ඇත්තෙන්ම භයානක වෛරසයක් සම්භන්ධව බොහොම හොඳ සුවවීමේ අනුපාතයක්. ඒ වගේම, ඉහතින් සඳහන් කළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසු ඉක්මනින් පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදුන්නොත් හෝ ප්‍රමාණවත් පූර්ණ ප්‍රතිකාරයන් ලබා නොදී, රෝහල් ගත නොකළහොත් සුවය ලැබීම තරමක් අපහසු වන බවත් මතක තබාගන්න.

පාවෝ වෛරසය වළක්වා ගත හැකිද?

ඔව්, පාවෝ වෛරසය වළක්වා ගත හැකියි! ඒ සඳහා ඇති හොඳම ක්‍රමය වන්නේ නියමිත වේලාවට එන්නත් ලබා දීමයි. පාවෝ එන්නත ලබා දීම සාමාන්‍යයෙන් සුනඛයින්ගේ වයස සති 6, 8, 12 සහ 16 දී සිදු කිරීම අනිවාර්‍යයයි. ඒ වගේම, දීර්ඝකාලීන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වැඩිහිටි සුනඛයින්ට වාර්ෂිකව හෝ සෑම වසර තුනකට වරක් බූස්ටර් එන්නතක් අවශ්‍ය වනවා.

ඒ වගේම, තවදුරටත් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔබේ බලු පැටවුන් සම්පූර්ණයෙන්ම එන්නත් කළ සුනඛයන් සමඟ පමණක් තැබීමට වගබලා ගන්න. එහිදී, එන්නත් නොකළ සුනඛයින් සමඟ ඔබේ සුරතලා පහසුවෙන් සම්බන්ධ විය හැකි ප්‍රදේශ, උදාහරණ ලෙස, සුනඛයන් ගැවසෙන උද්‍යාන වැනි ස්ථාන වලට නිතර යෑම, වීදී බල්ලන් සැරිසරන මංමාවත් ආදියෙහි ගමන් කිරීම වළක්වා ගත යුතුයි.

ඉතින්, මේ ලිපියෙන් ඔබ දැනගත්තා, ඔබේ සුරතලාව අනිවාරයෙන්ම ආරක්ෂා කරගත යුතු භයානක නමුත් වලක්වාගත හැකි වෛරසයක් ගැන. ඉතින් ඔබේ සුරතලාටත්, නිසි කලට පාවෝ වෛරසය ලබාදුන්නාද? ඒ ගැන පහතින් ලියන්න. තවමත් ලබාදී නැතිනම්, හැකි ඉක්මනින් ඔබේ පශු වෛද්‍යවරයාව හමුවී අදාල උපදෙස් ලබාගන්න. එහෙනම් තවත් මෙවැනිම වටිනා ලිපියකින් නැවත හමුවෙමු. 

ලිපි මූලාශ්‍ර

Parvo in Dogs: What To Know About Canine Parvovirus - Dr. Ellen Malmanger

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
5 3 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
crossmenu