පූස් ලෝකයේ යෝධයා - මේන් කූන් (Maine Coon) ගැන හැමදේම

May 13, 2024
ලිපි සැක​සු​ම
Primary Item (H2)

මේන් කූන් (Maine Coon) බළලුන් ඇමෙරිකාවේ මේන් ප්‍රාන්තයට ආවේණික වූ අතර ඔවුන් එහි නිල රාජ්‍ය පූසා ලෙස සැලකෙනවා. හැබැයි ඔවුන් ඇමෙරිකාවේ මේන් ප්‍රාන්ථයට ආවේනික වුවත්, ලෝකයේ ඕනෑම ශුෂ්ක දේශගුණික තත්වයක ජීවත්වීමේ ශක්තියක් ඔවුන්ට තිබීම ඇත්තෙන්ම විශේෂත්වයක්. ඉතින් ඒ කියන්නෙ ඔවුන් ශ්‍රී ලංකාවේ පරිසරයටත් හොඳින්ම ගැලපෙනවා කියන එකයි. එහෙනම් අද මේ ලිපියෙන් අපි ශ්‍රී ලංකාවේ සුලභ නොවන නමුත්, ශ්‍රී ලංකාවෙ ඇති කිරීමට සුදුසු මේ සුරතල් බළල් විශේෂය ගැන හැමදේම ඉගෙනගමු.

පූස් ලෝකයේ යෝධයෙක්

ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් විශාල පූස් ප්‍රභේධ දැකගන්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. අපි නිතර දකින ගෘහාශ්‍රිත පූසන් නම් කිලෝග්‍රෑම් 3කට 4කට වඩා බර වෙන්නෙ බොහොම කලාතුරකින්. ඒත් එහෙම වෙන්නෙත් තරබාරුවීමක් වුනොත් විතරයි. ඒ නිසා විශාල පූසන් ගැන අත්දැකීම අපේ අයට හරී අඩුයි.

ඒත් ඇත්තටම මේන් කූන්ලා සාමාන්‍ය ගෘහාශ්‍රිත පූසෙකුට වඩා හුඟක් විශාලයි. වැඩුණු පිරිමි පූසෙක් නම් කිලෝ ග්‍රෑම් 11ක් විතර බරයි. ගැහැණු සතෙක් උනත් කිලෝ ග්‍රෑම් 4.5ත් 6ත් අතර බරකට උරුමකම් කියනවා. ඒත් මේ ලොකු ප්‍රමාණෙට බය වෙන්න එපා. මොකද මේන් කූන්ලා හරිම ආදරණීයයි වගේම හරිම බුද්ධිමත්. ඒ වගේම එයාලා හරි කරුණාවන්තයි. ඒ විතරක් නෙවෙයි, ඔබත් සමඟ හුරතල් වෙන්නත් මේන් කූන්ලා ලොකු කැමැත්තක් දක්වනවා. ඒ නිසා තමයි මේන් කූන්ලා ගොඩක් අයගේ හිත් දිනාගෙන ඉන්නේ.

මේන් කූන්ලාගේ මූලික ලක්ෂණ

ආදරණීය බව සහ වෙනත් පූසන්ට සාපේක්ෂව වෙනස් හැසිරීම නිසා මේන් කූන්ලා ඇමරිකාවේ නම් වඩාත්ම ජනප්‍රිය ගෘහස්ථ පූසන් වර්ග කිහිපයෙන් එකක් ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ඔවුන් උතුරු ඇමරිකා​වේ පැරණිම ස්වභාවික පූස් වර්ගයකුත් වෙනවා. ඔවුන්ට දිගු සිරුරක්, විශාල හිස් සහ පාද පිහිටලා තියෙනවා. ඔවුන්ගේ ලොම් සහිත පාද හිම සපත්තු වගෙයි. ඒවා ඒ ආකාරයට නිර්මාණය වෙලා තියෙන්නේ නම් හිම සහිත භූමිවල පහසුවෙන් ගමන් කිරීමට උපකාරී වීමටයි. බොහෝ මේන් කූන් පූසන්ට සෑම පාදයකම අමතර ඇඟිලි ඇති අතර එමඟින් ලිස්සන සුළු මතුපිටවල් වල පහසුවෙන් ගමන් කල හැකි වනවා.

Maine Coonලාගේ හැසිරීම් රටා

මිත්‍රශීලී සහ ආදරණීය සුරතලෙක්

මේන් කූන් පූස් පැටව් ආදරණීය සහ සෙල්ලක්කාර ස්වභාවයක් පෙන්නුම් කරන අතර, ඔවුන්ගේ සිටිනා නිවසේ පවුලේ සාමාජිකයන් සමඟ සමීප බැඳීමක් ඇති කර ගන්නට පෙළබෙනවා. ඔවුන් බොහෝ විට ඔවුන්ගේ මිනිස් සඟයන් වටා සිටීමට කැමති අතර ආදරය පෙන්වීමට කැමතියි.

සුනඛයන් මෙන් හැසිරීම

මේන් කූන්ලා සාමාන්‍යයෙන් සුනඛයන් සමඟ පහසුවෙන් ගණුදෙනු කරන අතර, විශේෂම දේ වෙන්නෙ ඔවුන් සුනඛයන් මෙන් හැසිරීමයි. උදාහරණ ලෙස ඔවුන් බොහෝ විට බෝල සෙල්ලම් කිරීමට සහ ඔවුන්ගේ අයිතිකරුවන් සමඟ සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කිරීමට පෙළබෙනවා.

බුද්ධිමත් සහ කුතුහලයෙන් පිරි මිත්‍රයෙක්

මේන් කූන්ස් ඔවුන්ගේ බුද්ධිය සඳහා බොහොම ප්‍රසිද්ධයි. ඔවුන් ඉගෙනීමට ඉක්මන් වන අතර අභියෝගාත්මක සෙල්ලම් බඩු සහ ක්‍රීඩාවන්ට වඩා වැඩි කැමැත්තක් දක්වනවා. ඔවුන් අලුත් දේවල් ගැන උනන්දු වන අතර ඔවුන් අවට පරිසරය ගවේෂණය කිරීමටත් හරිම කැමතියි.

බොහොම සන්සුන් පූසෙක්

ඔවුන්ගේ ශරීරය විශාල වුවත් සාමාන්‍යයෙන් ඉතා සන්සුන් සහ මෘදු ස්වභාවයක් ගනී. ඔවුන් අධික ලෙස කෑ ගසන සත්වයෙක් හෝ මුරන්ඩු සුරතලෙක් නෙවෙයි. සන්සුස් පූසෙක් වුවත්, කලින් සඳහන් කලා වගේ සෙල්ලමට නම් බරයි.

ජලයට කැමැතියි

අනෙකුත් බළලුන් වගේ නෙවෙයි, මේන් කූන්ලා ජලයට බිය නොවන අතර බොහෝ විට ජලය සමඟ සෙල්ලම් කිරීමෙන් සතුටක් ලබයි. මෙම සුවිශේෂී ලක්ෂණය ඔවුන්ට ලැබී ඇත්තේ ඔවුන්ගේ ජල-විකර්ෂක ලොම් සහ සහ ජල ක්‍රීඩා සඳහා ඇති සහජ ආශාව නිසයි.

පවුලේ සාමාජිකයන් සමඟ සබඳතා

මෙම බළලුන් තම පවුලේ සාමාජිකයන් සමඟ ශක්තිමත් බැඳීමක් ඇති කර ගනී. ඔවුන් බොහෝ විට තම ප්‍රියතම පුද්ගලයින් අනුගමනය කරන අතරම ඔවුන් සමඟ නිතරම එකට කටයුතු කිරීමට උනන්දු වෙති.

විවිධ ශබ්ද නිකුත් කිරීම

මේන් කූන්ස් සාමාන්‍ය බළලුන්ගේ මියෑව් ශබ්දය වෙනුවට විවිධ ශබ්ද ගණනාවක් නගන්නට සමත් වෙනවා. නමුත් ඒ කිසිදු ශබ්දයක් ඔවුන්ගේ ශරීර ප්‍රමාණය තරම් ගෝශාකාරි නොවීමත් විශේෂත්වයක්.

උස් ස්ථාන වලට ඇති කැමැත්ත

ඔවුන්ගේ බුද්ධිය සහ කුතුහලය නිසා මොවුන් උස් ස්ථානවලට නැඟීමට ප්‍රිය කරයි. මොකද එවිට ඔවුන්ට ඔවුන්ගේ වටපිටාව පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය. ඔවුන් බොහෝ විට කුඩ ප්‍රමාණයේ ගස් සහ පඳුරු, වඩා තාප්ප ආදියෙහි නැඟීමට දැඩි ප්‍රියතාවයක් දක්වනවා.

පුහුණු කිරීමට පහසුයි

මේන් කූන්ලා ඉතා බුද්ධිමත් වන නිසාම පහසුවෙන් පුහුණු කළ හැකියි. ඔවුන් ඇත්තෙන්ම, උපක්‍රම ඉගෙන ගැනීමට සහ විධානවලට ප්‍රතිචාර දැක්වීමට ප්‍රිය කරන බළල් විශේෂයක්.

මේන් කූන්ලාගේ සෞඛ්‍ය ගැන ඔබ දැනගත යුතු කරුණු

මේන් කූන්ලාගේ ආයු කාලය අනෙක් පූස් පැටවුන්ට වඩා ටිකක් අඩුයි. සාමාන්‍යයෙන් ඔවුන් ජීවත් වන්නේ අවුරුදු 13ක් වගේ කාලයක්. ඒ වගේම උන්ට උපතින්ම එන ලෙඩ රෝගත් තියෙනවා. ඉතින් මේන් කූන් පැටියෙක්ව ඔබ නිවසට රැගෙන එනවා නම් මේ සෞඛ්‍ය ගැටලු ගැනත් සැලකිලිමත් වීම වටිනවා.

මේන් කූන් පූස් පැටවුන්ගේ සෞඛ්‍ය අවදානම්:

හෘද රෝග (HCM)

  • හදවතේ මාංශ පේශි ඝන වීම.
  • මුල් අවධියේදී ලක්ෂණ නොපෙන්වයි.
  • පසුකාලීනව හුස්ම ගැනීමේ අපහසුතා, අලස බව ඇති විය හැක.
  • DNA පරීක්ෂණ මගින් කල්තියා හඳුනාගත හැකිය.

ස්පයිනල් මාංශ පේශි ක්ෂය වීම (SMA)

  • මාංශ පේශි දුර්වල වීම.
  • බුද්ධියට බලපෑමක් නැත.
  • ඇවිදීමේ අපහසුතා, වෙව්ලීම ඇති විය හැක.
  • නිසි සැලකිල්ලෙන් සතුටින් ජීවත් විය හැක.

වෙනත් අවදානම්

  • බහු අවයවික වකුගඩු රෝගය (PKD).
  • උකුල් ආබාධ (Hip Dysplasia).

Polycystic වකුගඩු රෝගය (PKD) යනු Maine Coon බළලුන්ගේ පාරම්පරික තත්වයක් වන අතර එය වකුගඩු වල බහු ගෙඩි (දියර සාක්කු) සෑදීමට හේතු වේ. මෙම ගෙඩි උපතේ සිටම පවතී. මුලදී, ඒවා ඉතා කුඩා නමුත් කාලයත් සමඟ ඒවා විශාල වන අතර අවසානයේ වකුගඩු ක්‍රියාකාරිත්වය අඩාල විය හැකි අතර එමඟින් වකුගඩු අකර්මණ්‍ය වේ.

ඉතින්, ඔබේ මේන් කූන් පූස් පැටියා නිරෝගීව තබා ගැනීමට නම්, නිතිපතා පශු වෛද්‍ය පරීක්ෂණ සහ අවශ්‍ය පරීක්ෂණ (DNA පරීක්ෂණ ඇතුළුව) සිදු කිරීම අත්‍යවශ්‍යයි. ඔවුන්ට සමබර ආහාර වේලක් සහ ප්‍රමාණවත් ව්‍යායාම ලබා දීමෙන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමින් පවත්වාගැනීමට ඔබට හැකි වනවා.

මේන් කූන්ලට කන්න දෙන්න ඕන මොනවද?

මේන් කූන් පූසන්ගේ කෑම වේල අනෙක් පූස් වර්ග වලට ලබා දිය යුතු ආහාර වේලෙන් වෙනස් වෙන්නෙ නෑ. ඒ කියන්නේ සත්ව ප්‍රෝටීන් වලින් පොහොසත් කෑම තමයි දෙන්න ඕන. හැබැයි ඒ කෑම වල නිසි ප්‍රමිතියට අනුව පූසාගේ වයසට ගැලපෙන පෝෂණය තියෙන්නත් අවශ්‍යයි. පූස් පැටියට නම් වර්ධනයට උදව් වෙන කෑම වර්ගයක් දෙන්න පුළුවන්, අවුරුදු දෙකෙන් පස්සේ නම් වැඩිහිටි පූසන්ට ගැලපෙන කෑම දෙන්න ඕන.

කෑම ප්‍රමාණය තීරණය වෙන්නේ පූසාගේ බර, වයස, සෞඛ්‍ය තත්ත්වය, ව්‍යායාම වගේ දේවල් අනුව. කෑම පැකට් එකේ තියෙන උපදෙස් බලන්න පුළුවන්, ඒත් හොඳම දේ තමයි පශු වෛද්‍යවරයෙක් ගෙන් උපදෙස් ගන්න එක. එතකොට ඔයාගේ සුරතලාට ගැලපෙනම කෑම සැලැස්මක් හදාගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් මේන් කූන්ලට අතිරේක ආහාර දෙන්න අවශ්‍ය නැහැ, ඒත් පශු වෛද්‍යවරයා නිර්දේශ කළොත් දෙන්න අවශ්‍යයි. සමහර වෙලාවට සන්ධි ආශ්‍රිත අතිරේක කෑම ගැන ඔබට උපදෙස් ලැබෙන්නට පුළුවන්.

මේන් කූන්ලට කෑම දෙන්නෙ කොහොමද?

මේන් කූන් පූසන්ට හුඟක් දිග ලොම් තියෙනවා. ඉතින් එයාලා කෑම ගැනීමේදී ඒ ලොම් භාජනේ ඇතිල්ලෙන්නේ නැති වෙන්න ලොකු භාජන වල ආහාර ගන්න එයාලා කැමතියි. වතුර භාජනත් එහෙමයි. වතුර ගොඩක් තිබ්බොත් පූසා වැඩියෙන් වතුර බොනවා. ඒක හොඳයි. නමුත්, කලින් සඳහන් කලා වගේම මේන් කූන්ලා වතුරෙන් සෙල්ලම් කරන්නත් ආසයි. ඉතින් ඔබ කෑම සමඟ දෙන වතුරත් සමඟ එයාලා පාදවලින් සෙල්ලම් කරනවා දැක්කොත් පුදුම වෙන්න එපා!

දැන් ශ්‍රී ලංකාවෙත් සුරතල් සතුන් විකිණීම සිදුකරන වෙළඳසැල් වල මේ මේන් කූන් බලලුන් දැකගන්න පුළුවන්. අවසාන වශයෙන් ඔබේ නිවසට මේන් කූන් පූස් පැටියෙකු එක් කර ගැනීම යනු ඔබේ පවුලට ආදරණීය සහ සෙල්ලමට බර සාමාජිකයෙකු එක් කර ගන්නවා කියන එකයි. ඔවුන්ගේ සුවිශේෂී සෞඛ්‍ය අවශ්‍යතා සහ විශාල ප්‍රමාණය පිළිබඳව ඔබ සැලකිලිමත් වන තාක් කල්, මේන් කූන් බළලෙකු ඔබේ නිවසට සතුට ගෙන ඒවී.

දැන් ඔබටත් මේන් කූන් බළලෙකු ඇති කරන්න හිතෙනවද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එසේනම් අපි තවත් මේ වගේ වැදගත් ලිපියකින් නැවත හමුවෙමු.

ලිපිය සඳහා මූලාශයන්

Maine Coon - petmd.com

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
5 5 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
crossmenu