බළල් සුරතලා මේවා කරන්නේ ඔයාට එයාගේ ආදරේ පෙන්වන්න කියලා ඔයා දන්නවද?

February 24, 2024
ලිපි සැක​සු​ම
Primary Item (H2)

පූසන් එහෙමත් නැත්නම් බළලුන් කිසිම විටෙක තම ස්වාමියාට ආදරය පෙන්වන්නේ නැහැ කියල ඔයා හිතාගෙන ඉන්න ඇති. ඇත්ත වශයෙන්ම පූසන්ට ඉතාමත් රුචිකත්වයක් දක්වන සහ පූසන්ට කොහෙත්ම කැමැත්තක් නැති බොහෝ දෙනා හිතාගෙන සිටින්නේ ඒ ආකාරයට. අපි පූසෙකුට කොච්චර නම් ආදරය කලත් ඔවුන් පෙරළා ආදරක් පෙන්වන්නේ බොහොම කලාතුරකින් නේද කියල ඔබට අනිවාරයෙන්ම හිතිල ඇති.

ඒත් ඇත්ත ඒක නෙවෙයි, පූසන් තම ස්වාමියාට හෝ ඔවුන් සමඟ මිතුරු වන ඕනෑම අයෙකුට ආදරය ප්‍රකාශ කරන විවිධ ක්‍රම රාශියක් තියෙනවා. ඒ සමහර ක්‍රම ඇත්ත වශයෙන්ම ආදරය ප්‍රකාශ කිරීමට සුදුසු ක්‍රමද කියලත් ඔයාට හිතෙන්නට පුළුවන්. නමුත් එයයි සත්ව ලෝකයේ විවිධත්වය.

ඉතින් අද අපි පැහැදිලි කරගමු ඔබේ බළල් සුරතල් පූසා ඔබට ආදරේ කරන්නෙ කොහොමද කියලා. මේ ලිපිය කියවගෙන ඉදිරියට යනකොට ඔයාට තේරෙයි, අනේ ‘මගේ සුරතලත් මට මේ දේවල් කරල තියෙනව නේද’ කියන කාරණාව. එහෙනම් අපි යමු ඒ මොනවද කියල බලන්න.

01. නිතරම ඔබ අවට ගැවසීම

බළලුන් සාමාන්‍යයෙන් සුනඛයන් මෙන් නිතර දෙවේලේ තම ස්වාමියාගේ ඇඟේ දැවටීමට, ශරීරයේ එල්ලී සිටීමට කැමැත්තක් දක්වන සුරතලුන් කොට්ඨාශයක් නෙවෙයි. අන්න ඒ කාරණව නිසාම තමා ගොඩදෙනෙක් හිතන්නෙ, බළලුන් එතරම් මිනිසුන්ට ආදරයක් නොදක්වන සත්ව කොට්ඨාශයක් කියල. ඒත් ඇත්තම තත්වය ඊට වෙනස්.

ඔබට අත්දැකීම් ඇති බළලුන් හැකි සෑම විටම ඔබ අවටම ගැවසෙනවා. ඒ ගැවසීම තමයි ඔවුන් ඔබට ඇති ආදරය පෙන්වන එක් ක්‍රමයක් වන්නේ. ඇත්ත වශයෙන්ම ඔබේ සුරතලා ඔබ අවට ගැවසීමම ඔබට කෙතරම් මානසික සහනයක් වී ඇතිදැයි ඔබටම වැටහෙනවා ඇති. ඒ හැරත් ඔබගේ මේසය මතට හෝ උකුල මතට පැමිණ වැතිර සිටීම ඔවුන් මෙය වඩාත් හොඳින් සිදුකරන අවස්ථාවක් වනවා.

02. බඩ ප්‍රදේශය පෙන්වමින් උඩබැලි අතට වැතිරීම

බල්ලන් සාමාන්‍යයෙන් දන්නා හෝ නොදන්නා ඕනෑම අයෙකු ඉදිරියේදි, එනම් ඉක්මනින් ඔවුන් සමඟ කුළුපගු වන ඕනෑම අයෙකු ඉදිරියේදි මේ උඩබැලි අතට වැතිරීම සිදුකරනවා. නමුත් පූසන් එය සිදුකරනේ තමා ඉතාමත් ආදරය කරන අයෙකු ඉදිරියේදීම පමණයි. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔබ ඔවුන්ගේ උදරය ප්‍රදේශය ආදරයෙන් පිරිමැදීමක්. හැබැයි එහිදී ඔබ දැන සිටිය යුතු තවත් කාරණයක් තියෙනවා. සමහර පූසන් ඔබ ඉදිරියේ එසේ සිටින්නේ ඔබට ඇති ආදරය සහ ඔබ ගැන ඇති විස්වාසය නිසා උනත් ඔවුන්ගේ සහජ පෞරුෂ ලක්ශණයන් නිසාවෙන් ඔවුන්ව අත පත ගානවට වැඩි කැමැත්තක් නොදක්වන වාද වෙන්න පුළුවන්. ඒ ගැන දැන ගන්න නම් අප මීට පෙර පළ කරපු පූස​න් පෙන්වන පෞරුෂ ගතිලක්ෂණ 5ක් මෙන්​න ලිපිය කියවන්න. මිනිස්සුන්ට වගේම සතුන්ටත් විවිද පෞරුෂ ගති ලක්ශණ තියෙනවා. ඔබගේ පූසා කුමන පෞරුෂ ලක්ශණ සහිත සුරතලෙක්ද කියලා දැන ගෙන සිටීම ඔබගේ සහ සුරතලාගේ අන්තර්සම්බන්දතාවය වැඩිදියුණු කර ගැනීමට උපකාරී වෙනවා.

නමුත් බළලුන් ඔවුන්ට ආගන්තුක පුද්ගයලෙක් මෙය කිරීමට යෑමේදී ඔවුන් තරමක් කෝපයට පත්වන අතරම, අදාල පුද්ගලයා සීරීමකට උවත් ලක්විය හැකියි. ඉතින් එයින් අදහස් වන්නේ, බලලුන් එසේ ඔබ ඉදිරියේ උඩබැලි අතට වැතිරෙන්නේ ඔබ කෙරෙහි ඔවුන්ගේ ඇති විශ්වාසයත් ආදරත් ප්‍රදර්ශනය කිරීමේ බලාපොරොත්තුවෙන් කියන කාරණාවයි.

03. සෙමින් ඇසිපිය හෙළීම

සාමාන්‍යයෙන් බළල් සුරතලුන්ට ඉතාමත් දිගු වේලාවක් ඇසිපිය නොහෙළා බලාගෙන සිටීමේ විශේෂ හැකියාවක් තිබෙනවා. එම අනුවර්ථන හැකියාව ඔවුන්ට ලැබී ඇත්තේ විලෝපිකයන් ලෙස ගොදුරු ඉලක්ක කිරීම පහසු වීමටයි. ඉතින් නිවෙස් වල ඇතිකරත් අවට පරිසරයේදී අවධානමක් දැනෙන ඕනෑම අවස්ථාවක පූසන් මේ ආකාරයට ඇසිපිය නොහෙලා බලා සිටීම සිදු කරනවා.

නමුත්, පූසන් ඔබ ඉදිරියේදී සෙමින් ඇසිපිය හෙළීමක් සිදු කරන්නේ නම් එයින් අදහස් වන්නේ ඔවුන් ඔබට ආදරය දක්වනවා කියන එකයි. එය හරියට, ‘මම ඔයාට ආදරෙයි’ කියන එක වචනයෙන් කියන්න බැරි නිසා ඔවුන්ගේම භාශාවකින් කියන ආකාරයක් විදියටත් හදුන්වන්නට පුළුවන්.

04. ඇඟේ දැවටීම

මෙය බළලුන් සාමාන්‍යයෙන් නිතර කරන දෙයක් නොවෙයි. බොහෝම කලාතුරකින් වගේම ඔවුන් වඩාත්ම ආදරය කරන අයට පමණක් සිදුකරන දෙයක්. එනම්, ඔබේ බළල් සුරතලා කලාතුරකින් හෝ ඔබේ ඇඟේ දැවටීමට උත්සාහ කරනවා නම් එයින් අදහස් වන්නේ එම සත්වයා ඔබට දැඩි සෙනෙහසක් දක්වනවා කියන එකයි.

බළලුන් සාමාන්‍යයෙන් මෙය ඔවුන් වඩාත්ම ආදරය කරන මිනිසුන් කෙරෙහි මෙන්ම, ඔවුන් නිතර නිතර භාවිතා කරන භාණ්ඩ සඳහා පවාද සිදුකරන අවස්ථාවන් තිබෙනවා. එහි වක්‍රාකාර තේරුම වන්නේ ඔවුන්ගේ ශරීරය යමක හෝ යමෙකුගේ දැවටීම මගින් ඔවුන් එම භාන්ඩයට හෝ පුද්ගලයාට අයිතිවාසිකමක් පෙන්වීමට කටයුතු කරන බවයි.

05. ඔබ වෙනුවෙන් තෑගි ගෙන ඒම

පූසන් ඔවුන්ගේ ආදරය දක්වන මේ ක්‍රමය නම් මිනිසුන්ට එතරම්ම සමීප ක්‍රමයක් වෙන්නෙ නෑ. ඒ ඇයිද කියනව නම්, ඔවුන් ඔවුන්ගේ ආදරය පෙන්වන්නේ ඔබ ඉදිරියට මේ දැන් මරණයට පත් කරන ලද මීයෙකු හෝ කුඩා කුරුල්ලෙකුගේ මළසිරුරක් ගෙනවිත් දැමීමෙන් විය හැකියි.

ඔවුන් එසේ සිදුකරන්නේ ඔබ ඔවුන්ව සෑම විටම හොඳ ආහාර පාන වලින් පෝෂණය කිරීමට කෘතගුණ දැක්වීමක් වශයෙන් වගේම ඔවුන්ගේ දඩයම් කිරීමෙ හැකියාව තම ආදරණීයන්ට ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් වීමටද ඉඩ ඇත. එම අවස්තාව ඔබ බොහෝ විට වරදවා වටහාගෙන ඔවුන්ට දඩුවම් කල අවස්තාද අනිවාරයෙන්ම ඇති.

නමුත් එවැනි අවස්ථා වල ඔබ කල යුත්තේ ඔවුන්ව ආදරයෙන් අගය කිරීමයි. නමුත් ඕනෑවට වඩා අගය කිරීම ඔබට මෙවැනි මී මළකුනු ත්‍යාග වැඩි වැඩියෙන් ලැබීමට හේතුවක් වෙන්නට පුළුවන් කියන කාරනාවත් අමතක කරන්න එපා. ඒ නිසා ඔවුන්ගේ හිස අත ගාන ගමන් අවධානය වෙනතකට හරවා එම මලකුණ ඔවුනට නොදැනෙන සේ එම ස්තානයෙන් ඉවත් කිරීම සුදුසුයි.

06. ඔබට ආචාර කිරීම

සාමාන්‍යයෙන් මෙයද බළලුන් නිතර කරන දෙයක් නොවෙයි. ඇත්තෙන්ම බළලුන්ට එවැනි පුරුද්දක් තිබෙනවාද කියන එකත් බොහෝ දෙනා දන්නේද නැහැ. එනම්, ඔබ නිවසින් බැහැර ගොස්, රැකියාවට ගොස් හෝ වෙහෙස වී නැවතත් නිවසට පැමිණෙන විට සුනඛ සුරතලෙකු දක්වන ඉතාමත් ලෙන්ගතු ප්‍රතිචාරයක් සාමාන්‍යයෙන් බළලෙකුගෙන් බලාපොරොත්තු වන්නට බැහැ.

නමුත්, බළලුන් බොහොම කලාතුරකින් තමා ඉතාමත් ආදරය කරන පුද්ගලයන් කෙරෙහි තම ආචාරය දක්වනවා. බොහෝ විට එය ඔබ නිවසට පැමිණෙන විට නිවසේ දොරකඩට පැමිණ ඔබ ඇතුල්වනවාත් සමඟම ඔබ සමග නිවස තුලට ගමන් කරනවා වැනි සරල හැසිරීමක් විය හැකියි.

07. ලෙවකෑම සහ සියුම් සැපීම්

බළලුන් ඔබගේ අසලට විත් ඔබේ පාද ලෙවකෑම, සියුම් ලෙස ඔබව සැපීම වගේම ඔවුන්ගේ තියුණු නියපොතු සහිත පාද වලින් ඔබව අල්ලාගැනීමට උත්සාහ කිරීම ඔවුන් ඔබ කෙරෙහි ඇති ආදරය පෙන්වීමට සිදුකර තවත් දේවල් කිහිපයක්. බොහෝ විට ඔවුන්ගේ දත් සහ නිය තියුණු නිසා ඒ සපාකෑම් සහ සීරීම් ඔබට තරම් වේදනාකාරීද විය හැකියි.

නමුත්, ඔවුන් ඔබගේ පාදයෙන් හෝ ඔබ ඔවුන්ව උකුලට ගෙන සිටින විට ඔබගේ අතින් තදින් අල්ලාගන්නේ ඔවුන් සමඟ දිගටම ඒ ආකාරයෙන් ආදරෙන් සිටින ලෙස කරන ආයාචනයක් ආකාරයටයි. එම නිසා ඔබ ඔවුන් කෙරෙහි දක්වන ආදරයේ තරමට එම වේදනාද ඔබට ඉවසීමට සිදුවේවි.

08. ඔබ සමඟ, ඔබ අසලින් නිදාගැනීම

සාමාන්‍යයෙන් අලුත ඉපදුන බළල් පැටවුන් වගේම, වැඩුනු බළලුන් උවත්, ඔවුන්ට ආරක්ශාකාරී බවක් නොහැගෙන තැනක නින්දට වැටෙන්නේ නැහැ. ඔවුන් සෑමවිටම ආරක්ෂාකාරී තැනක් තෝරාගැනීමට පෙළඹෙනවා. එය ඔවුන්ට ජානමය වශයෙන් පැමිණෙන පුරුද්දක්.

ඉතින්, බළලෙකු ඔබ සමඟ, ඔබ අසලින් නිදාගන්නේ නම් එයින් අදහස් වන්නේ ඔවුන් ඔබව දැඩිසේ විශ්වාස කරන බවත්, ඔවුන්ට ඔබ ආදරය කරන බව ඔවුන්ද දන්නා බවත් කියන කාරණා දෙකයි. ඔවුන් ඔබගේ උකුලේම නින්දට වැටෙනවා නම් ඔබ ගැන එම ආරක්ෂාකාරී හැඟීම ඔවුන්ට තරමක් වැඩියෙන් දැනෙනවාද විය හැකියි.

09. වලිගය ඉහලට ඔසවා සිටීම

බළලුන් සාමාන්‍යයෙන් මිනිසුන් සමග අදහස් හුවමාරු කිරීමට ඔවුන්ගේ හඬ වෙනුවට ශරීරයේ අංග චලන භාවිතා කරන අවස්ථාවන්ද රැසක් තිබෙනවා. වලිගය වේගයෙන් දෙපැත්තට වැනීමෙන් බළලෙකු අදහස් කරන්නේ ඔවුන් කලබලයට පත්වී සිටීමකි. ඒ වගේම වලිගය සෙමින් දෙපැත්තට වනන්නේ ඔවුන් නිදිමතින් සිටින විටයි.

ඔබේ බළල් සුරතලා ඔබ දුටු විට, වලිගය ඉහලට ඔසවාගෙන ඔබ වටා ගැවසෙන්නේ නම් එයින් පැහැදිලිව අදහස් වන්නේ ඔවුන් ඔබව දැකීමෙන් ඔවුන් ඉතාමත් සතුටට පත්වී සිටින බවයි. එසේම එසේ සිටියදීම ඔවුන් ඔබට පිටුපා සිටින්නේ නම් එයින් අදහස් කරන්නේ, ඔවුන්ට ඇතිවන හදිසි තත්වයකදී ඔබ ඔවුන් ආරක්ෂා කරන බවට ඔවුන් විශ්වාස කරන බවයි.

10. ඔබේ භාණ්ඩ මත මූත්‍රා කිරීම

ඇත්තෙන්ම මෙයත් ඔවුන් ආදරය පෙන්වන ආකාරයද? ඔබට අනිවාරයෙන්ම එහෙම හිතෙන්නට ඇති. ඒ සිතුවිල්ල ඇත්ත වශයෙන්ම සාදාරණයි. එය ආදරය පෙන්විය හැකි ඉතාමත් අප්‍රසන්නම ආකාරයක් කියලයි මිනිසුන් වන අපට නම් පෙනෙන්නේ. නමුත් ඒ සැබැවින්ම ඔවුන් ඔබට ආදරය පෙන්වන තවත් එක් ක්‍රමයක් පමනයි. මේ වගේ ආදරය පෙන්වන ක්‍රම අඩු කරගැනීමට නම් ඔවුන් ඔබට ආදරය කරන අනෙක් ක්‍රමයන් වලදී ඔබටද ඔවුන්ව වැඩි වැඩියෙන් අගය කර පෙරළා ඔවුනටද ආදරය කරන්නට සිදුවේවි.

ඉතින්, මීළඟ වතාවේ ඔබේ සුරතලා ඔබේ පාවහන් තුල, ඔබේ ඇදුමක් මත හෝ ඔබේ වෙන යම් ඕනෑම දෙයක් මත මූත්‍රා කර තිබුණහොත්, ඒ ඔබේ සුරතලාගේ ආදරය ප්‍රකාශ කිරීමක් කියන එක අමතක කරන්න එපා.

මේ ලිපිය කියවීමෙන් ඔබට ඔබේ බළල් සුරතලා මෙතෙක් කල් ඔබ වෙනුවෙන් ආදරය ප්‍රකාශ කල ආකාරය ගැන පුළුල් අවභෝධයක් ලැබෙන්නට ඇති. ඔබ වැරදියට සිතාගෙන සිටි බොහෝ කාරණා වලොඅ නිවැරදි කරුණු දැනගන්න ඇති. එසේනම් ඉදිරියේදිත් මේවගේ වැදගත් දේ කියවන්න, රැදෙන්න PetTopia.lk සමඟින්.

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
5 3 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
crossmenu