මේ දේවල් නොදැන German Shepherd කෙනෙක් හදන්න හිතන්නව​ත් එපා

March 5, 2024
ලිපි සැක​සු​ම
Primary Item (H2)

ජර්මන් ශෙපර්ඩ් කියන්නෙ අනිවාරෙන්ම ඔයා මේ වෙද්දිත් හොඳින්ම දන්න බ්‍රීඩ් එකක්. නිවෙස් වල ඇති කරන සුරතලුන් විශේෂයක් වෙනව වගේම, පොලිස් සහ හමුදාමය මෙහෙයුම් වලටත් මෙයාලව හොඳින් පුහුණු කරල භාවිතා කරනව ඔයා දැකල ඇති. ඒ කියන්නේ ජර්මන් ශෙපර්ඩ් කියන්නේ බුද්ධිමත් බව් බ්‍රීඩ් එකක්. එයාලගෙ තවත් විශේෂතා ගොඩක් තියෙනවා. ජර්මන් ශෙපර්ඩ්ලට ආස කෙනෙක් නම් ඒ දේවල් ඔයා දැනගෙන ඉන්නම ඕන දේවල්.

අද අපි කතා කරන්න යන්නෙ, ඔයා ජර්මන් ශෙපර්ඩ් කෙනෙක් හදාගන්න ගන්නව නම්, ඔයාට බොහොම වැදගත් කරුණු කිහිපයක් ගැන. මේ දේවල් නොදැනගෙන නම් කිසිම වෙලාවක මෙයාලව ඔයාගෙ සුරතලා කරගන්න හිතන්නවත් එපා.

ඔබ දැනගත යුතුම මූලික කරුණු කිහිපයක් මුලින්ම කතා කරමු

  • ජර්මන් ශෙපර්ඩ් සුනඛ විශේෂයේ හැසිරීම් වලට 91%ක්ම වග කියන්නේ ඔවුන් උපතින් පසු ලබන අත්දැකීම් සහ පුහුණුවයි. එම නිසා, ඔවුන්ව ඇති කරන ස්වාමියා විසින් ලබාදෙන මනා පුහුණුව, එම සතුන්ගේ පැවැත්මටත්, වැඩිහිටි සුනඛයකෙ වශයෙන් යහපත් ලෙස හැසිරීමටත් සෘජුවම බලපානවා.
  • ජර්මන් ශෙපර්ඩ් සාමාන්‍යයෙන් ඉතා හොඳ බුද්ධියක් ඇති සුපරිෂාකාරී සත්වයෙක් වන නිසම, මොවුන් නාදුනන පුද්ගලයන් කෙරෙහි අවදානම් සහිත ලක්ෂණ පෙන්නුම් කරනවා. නමුත් නිවෙසක ඇති කරනවා නම්, ඒ නිවසේ අය වෙත ඉතාමත් ලෙංගතු වනවා.
  • කලින් සඳහන් කලා වගේම මනා පුහුණුව මගින් මෙම අවධානම් හැසිරීමද පාලනය කල හැකියි. ඒ හේතුව නිසයි පොලිස් නිල සුනඛ සේවයේ යෙදී සිටින ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ සුනඛයන් බොහොම සමාකාමී විදියට අපිට දැකගන්නට ලැබෙන්නේ.
  • මොවුන්ගේ ශාරීරික වර්ධනයට වගේම, මානසික තත්වය හොඳින් පවත්වා ගැනීමටත් ව්‍යායාම අත්‍යාවශ්‍ය වනවා. එසේ නොමැති වීම ඔවුන්ව දැඩි කෝපයටත් කලහාකාරී කිරීමටත් බලපානවා.
  • මොවුන්ව නිවසින් බැහැරට රැගෙනයන සෑම අවස්තාවකම පටියකින් බැඳ රැගෙන යාම අනිවාර්‍ය වනවා. එසේත් නොමැතිනම් මොවුන් ලේනකු, පූසෙකු හෝ වීදි සුනක්‍යයකු පසුපස හබා යෑමේ වැඩි අවස්තාවක් තිබෙනවා. ඒ වගේම නිසි පුහුණුවක් නොමැතිනම් මිනිසකු වෙත කඩාපැනීමට උවත් හැකියි.

මොනවද එයාලට කෑමට දෙන්නෙ? - ගෙදර කන කෑම දුන්නොත් ඇතිද?

අපේ ලංකාවෙ අය සුරතල් සතුන් ඇති කරද්දි කරන ලොකුම වැරද්දක් තමයි, ඒ සතුන්ට ආහාරයට දෙන්න ඕනෙ හරිම දේවල් මොනවද කියල නොදන්න කම. ගොඩක් වෙලාවට, ගොඩ දෙනෙක් කරන්නෙ එදිනෙදා ගෙදර කන බත්, පිටි සහිත , සීනි සහිත කෑම, එහෙමත් නැතිනම් පුළුවන් තරම් මස් වර්ග දෙන්න බලන එක. ඒත් ඒක එයාලට ඔයා හිතන්නෙවත් නැති තරම් තර්ජයනයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ජර්මන් ශෙපර්ඩ් වගේ ටිකක් විශේෂ බ්‍රීඩ් වලට.

ඔයා ජර්මන් ශෙපර්ඩ් කෙනෙක් හදාගන්න ගන්නව නම් එයාට අනිවාරෙන්ම සුනඛයන් සඳහා වෙන්වූ කෑම දෙන්න ඕනෙ. අපි මේ කියන්නේ කඩේ විකුණන්න තියෙන පැකට් ආහාර ගැන විතරක්ම නෙමේ. ගෙදරදි උනත් ඔයාට මෙයාලට සරිල​න හොද පෝෂ්‍යදායි ආහාර වේලක් සකස් කර ගන්න පුළුවන්. අපි ඉදිරියේදි බව්වෙකුට ගෙදරදී පෝශණීය ආහාර වේලක් සකසා ගන්න හැටි ගැන වෙනම ලිපියකින් කතා කරන්නම්. හැබැයි මේ ආහාර වර්ග නම් බව්වන්ට හොද ආහාර නොවෙන බව තරයේ මතක තබා ගන්න එකට නුවනට හුරුයි.

ඔබේ බලු සුරතලාට කිසිදා ලබා නොදිය යුතු භයානක ආහාර වර්ග 25 ක්

ඔබට එළෙස නිවසේදී පිළියල කරගැනීමට අපහසු නම් ඒ සදහා මෙයාලටම විෂේශිත ලෙස නිශ්පාදනය කරන ලද ආහාර උනත් දෙන්න පුළුවන්. එහෙම නිශ්පාදනයක් මිළට ගන්නකොට ඔයා සැලකිලිමත් වෙන්න ඕනෙ කරුණු කිහිපයක් තියෙනවා. අංක එකටම ඔයා ඒ නිශ්පාදනයේ ලේබලය හොඳින් පරික්ක්ෂා කරන්න ඕනෙ. ඒකෙ සඳහන් වෙනවා මේක මොන වයස් මට්ටමක සුරතලුන්ටද නිශ්පාදනය කරල තියෙන්නෙ කියල. ඊලඟට ඒ නිශ්පාදන වල ඔයාගෙ සුරතලාට අත්‍යාවශ්‍ය ඛණිජ ලවන සහ විටමින් අන්තර්ගත වෙලා තියෙන්න ඕනෙ. එහෙම නැත්නම් ඔයා කරන්නෙ ලොකුම අපරාදයක්.

එයාලට සත්ව ආහාර කොච්චර ප්‍රමාණයක් දුන්නොත් ඇතිද?

ජර්මන් ශෙපර්ඩ් පැටවෙක් දිනකට 3 වතාවක් පමණ පෝෂණය කළ යුතුයි. මාස 12ත් 18 අතර වයස ඉක්මවූ වැඩුනු ජර්මන් ශෙපර්ඩ් කෙනෙක් දිනකට දෙවරක් පෝෂණය කිරීම ප්‍රමාණවත්. කිසිදු විටෙක එක් විශාල ආහාර වේලක් පමන​ක් ලබාදීමෙන් වලකින්නට අවශ්‍යයි. නමුත්, ඔබේ පශු වෛද්‍යවරයාගේ නිර්දේශ මත මේ ප්‍රමාණයන් වෙනස් වෙන්නට පුළුවන්.

මොවුන්ව ආහාර ලබාදීමේදි සැලකිලිමත් විය යුතු තවත් ප්‍රධාන කරුණක් තියෙනවා. ඒ තමයි කෑමට පෙර සහ පසු විනාඩි 30ක් පමණ ඇතුළට මොවුන්ට ක්‍රියාශීලී වීමට ඉඩ නොතැබීම. එසේ උවහොත් මොවුන්ට GDV වැනි රෝග තත්වයන් ඇතිවීමේ අවධානමක් තිබෙනවා.

ඔයාගෙ ජර්මන් ශෙපර්ඩ් සුරතලා එක්ක කරන්න පුළුවන් විනෝද කටයුතු මොනවද?

අපි කලින් පැහැදිලි කලා වගේම, ජර්මන් ශෙපර්ඩ් සුනඛයන් ක්‍රියාශීලිව තබාගැනීම ඉතාමත් වැදගත් කාරණයක්. ඔවුන් සමග කල හැකි විනෝද කටයුතු බොහොමයක් තියෙනවා. කළ හැකි සරලම දේ නිවසේ අය එකතු වී සිදු කරන ඕනෑම ආකාරයේ විනෝද කටයුත්ත්කට ඔවුන්ව සම්භන්ධ කර ගැනීමයි. ඒ අකාරයට තමන්ගේ වටා සිටින පවුලේ සාමාජිකයන් සමඟ විනෝද වීමට මොවුන් දැඩි ප්‍රියතාවයක් දක්වනවා.

ඊට අමතරව කෝටුවක් හෝ බෝලයක් වැනි යමක් ඈතට විසි කර එය නැවත රැගෙන ඒමට පෙළඹවීම, පිහිනීම, දිවීම, ආදී ඕනෑම කටයුත්තකට මොවුන් විශාල ප්‍රියතාවයක් දක්වනවා. වැදගත් වන්නේ කුමන හෝ ආකරයකින් මොවුන්ව ක්‍රියාශීලීව තබාගැනීමයි.

ජර්මන් ශෙපර්ඩ් කෙනෙකු වෙනුවෙන් මේ දේවල් මේ විදියටම කරන්න අවශ්‍යයි

ජර්මන් ශෙපර්ඩ් කෙනෙකු බලා ගැනීමේදී ඔවුන්ගේ සෞඛ්‍ය සහ පෙනුම ගැන සැලකිලිමත් විය යුතු තවත් කරුණු ගණනාවක් තිබෙනවා. මේ ඒ අතරින් වැදගත්ම කරුණු කිහිපයක්.

  • ඔවුන්ව ස්නානය කරවිය යුත්තේ වසරකටම කිහිප වතාවක් පමණයි. නිතර නිතර නැහැවීමෙන් ඔවුන්ගේ ලෝම සමඟ තැන්පත්ව ඇති තෙල් තට්ටුව දියවී යෑමට හැකියි. එසේ වීම ඔවුන්ගේ ලොම් වල පැවැත්මට හනියක් වනවා. ස්නානය කරවන අවස්තා කිහිපයේදී සුනඛයන් සඳහාම වෙන්වූ ෂැම්පු වර්ගයක් භාවිතා කරන්නත් අමතක කරන්න එපා.
  • මෙසේ නෑවීම සඳහා තෝරගත යුතු හොඳම කාලය වන්නේ ඔවුන්ගේ ලොම් වැඩි වශයෙන් හැලීමට පටන් ගන්නා කාලයයි. එම කාලය තුල නාවා පිරිසිදු කිරීමෙ​න් ගැලවී ලොම් අතර තැම්පත් වී ඇති කොටස් ඉවත් වී, නිවසේ තැනින් තැන ලෝම හැලීම වලක්වා ගත හැකියි.
  • ඔවුන්ගේ රෝම ඉතා ඝණව වැඩෙන නිසා ඒවා සතියට කිහිප වරක්වත් පිරීම අත්‍යාවශ්‍ය වනවා. එසේ නොකලහොත් ඒවා අක්‍රමවත් ලෙස විසි​රී ඇවිස්සුනු සහ ගැට ගැසුනු පෙනුමක් ලැබෙන්නට ඉඩ තිබෙනවා. මේ සඳහා සුනඛයන්ගේ ලෝම පිරීම සඳහාම වෙන්වූ බුරුසුවක් භාවිතා කිරීම වඩාත් සුදුසු වනවා.
  • සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව වගේ නිතරම දැඩි හිරු රශ්මියක් පදිත වන රටකදී මොවුන්ගේ ඇස් වලට යම් යම් හානි සිදුවිය හැකියි. ඔවුන්ගේ ඇස් වල ස්වරූපයේ හෝ පෙනීමේ යම් වෙනසක් දුටුවහොත් වහාම ඔබේ පශුවෛද්‍ය වරයා වෙත රැගෙන යන්න අමතක කරන්න එපා.
  • ඔවුන්ගේ කන් පිරිසිදු කල යුත්තේ කන තුල රොඩු හෝ වෙන යම් දෙයක් තැන්පත් වී ඇති බව නිරීක්ෂණය උවහොත් පමණයි. එසේ නොමැතිව නිතර නිතර කන් පිරිසිදු කිරීම, තෙත් කිරිම මඟින් කන් වල තෙතමනය රැදී ආසාදනය විය හැකියි.
  • ඔවුන්ගේ නියපොතු ගැනත් ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒවා පමණට වඩා දිගින් වැඩීම ඔබට හානිකර විය හැකියි සේම ඒවා කැඩී යෑමේ අවදානමක්ද තිබෙනවා. ඒ නිසාම නිතර ඔවුන්ගේ නියපොතු කැපීමද අනිවාර්‍යයයි.

ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්ව හොඳින් රැක බලාගැනීමට ඔබ සුදුසුද?

දැන් ඔබට පැහැදිලි ඇති, ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ සුනඛයෙකු නිසි ආකාරව රැක බලා ගැනීම එතරම්ම පහසු කටයුත්තක් නොවෙයි කියන කාරණාව. එය ඇත්ත වශයෙන්ම ඔබට වසර 7 - 10ත් අතර කාලයක් සඳහා ඔබේ පූර්ණ වගකීම පැවරෙන භාරධූර කටයුත්ටක්. ඉතින්, ඒ සඳහා අවශ්‍ය වන්නේ, ඔබේ සුරතලාව හැකි උපරිමයෙන්, හොඳින් රැකබලා ගැනීම සඳහා ඔබ සෑම අතින්ම සූදානම් කියන කාරණය ඔබ විසින්ම තහවුරු කරගැනීම පමණයි.

එනම්,

  • එම සත්වයාට අවශ්‍ය නියමිත සත්ව ආහාර ලබාදීමට ඔබට හැකි විය යුතුයි.
  • ඔවුන්ගේ දෛනික ආහාර අවශ්‍යතාවය ඔබට නිසි පරිදි සැපිරිය හැකි විය යුතුයි.
  • ඔවුන්ව දෛනිකව ක්‍රියාශීලි කරවීම සිදු කල හැකි විය යුතුයි.
  • යහපත් හැසිරීම් රටා ඇති වැඩිහිටි සුනඛයෙකු දක්වා තම සුරතලාව පුහුණු කරවීමට ඔබට හැකි විය යුතුයි.
  • සුරතලාගේ ශරීරය සහ සෞඛය ගැන සෑම විටම සැලකිලිමත් විය යුතු අතර, අවශ්‍ය සෑම විටම අත්බෙහෙත් වෙනුවට, පශු වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුයි.
  • සෑම විටම තම සුරතලාට ආදරය දැක්වීමට හැකි විය යුතුයි.

මේ කරුණු සියල්ල සම්පූර්ණ වනවා නම්, ඔබ ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ සුනඛයකු ඔබේ සුරතලා කර ගැනීමට මේ දැන් උනත් සුදුසුයි. ඉදිරියේදී අපි ඔබට ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ සුනඛයෙකුට නිවසේදීම ආහර පළියෙල කරගැනීම ගැන සහ කඩෙන් ගන්නා පැකට් ආහාර ලබා දෙනවනම් ඒ සදහා සුදුසම පැකට් ආහර මොනවාද කියලා විස්තර තවත් ලිපියකන් අරගන එන්නම්.

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
4.3 6 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
crossmenu