රවුම් කූඩු සුරතල් කුරුල්ලන්ට හොඳයිද, නරකයිද?

September 20, 2023
ලිපි සැක​සු​ම
Primary Item (H2)

ඔයා කුරුල්ලන් ඇති කරන්න කැමැති කෙනෙක්ද? කුරුළු කූඩුවක් ගැන හිතුවම, ඔයාගේ ඔලුවේ ක්ෂණිකව මැවෙන රූපය මොකක්ද? සමහර විට ඔයා මවාගත්ත රූපය හතරැස් කූඩුවක් වෙන්න ඇති. නැත්තන් වටකුරු කූඩුවක් වෙන්නැති. ගොඩක් අය, විශේෂයෙන්ම සුරතල් කුරුල්ලන් නොමැති අය, බොහෝ විට රවුම් කූඩු මෝස්තර ගැන රූපයක් මවා ගන්න ඇති. මේ සම්භාව්‍ය විලාසිතාවේ රවුම් කුරුළු කූඩු ඔයාට ලස්සනට පෙනුනත්, ඒ කූඩූව ඔයාගේ සුරතල් කුරුල්ලන්ට නම් එච්චර සුවපහසු එකක් නෙමෙයි.

ඔයාගේ කුරුල්ලා වටකුරු කූඩුවක තබා නොගත යුත්තේ ඇයි?

කුරුළු විශේෂඥයින් පවසන ආකාරයට සුරතල් කුරුල්ලන් සඳහා රවුම් කූඩුවක් මිලදී ගැනීම නිර්දේශ නොකිරීමට හේතු කිහිපයක් තියෙනවා.

01. සුරතල් සතුන් ආක්‍රමණශීලී සහ දරුණු වෙන්න පුලුවන්

වටකුරු කූඩුවක කුරුල්ලාට පාද තබා ගත හැකි යකඩ බාර් එක පිහිටන්නේ කූඩූවේ මැද මදක් ඉහළට වන්නටයි. එවිට කුරුල්ලාට සැරිසැරිය හැකි අවකාශය ඉතාමත් පටුයි. කුරුල්ලා උගේ පාදය, ඇඟිලි, පියාපත් හෝ හොට පටු අවකාශයේ සිර කරගෙන සිටියි නම් ඔවුන්ගේ ජීවිතයට එය හානියක් වෙන්න පුලුවන්. ඔවුන් මේ අවස්ථාවලදී ආක්‍රමණශීලී හැසිරීම් පෙන්වන්න පුලුවන්.

අලංකාර විසිතුරු වින්ටේජ් කුරුලු කූඩුවක පෙනුමට සෑම දෙනෙක්ම පාහේ ප්‍රිය කරනවා. නමුත් සුරතල් පක්ෂීන් ඇතිකරන ඕනෑම කෙනෙකුට මේ රවුම් කූඩූ වල කුරුල්ලන් ඇති කිරීම සපුරා තහනම්. මෙම පැරණි කූඩු අලංකාර උනත්, ඒවා සම්පූර්ණයෙන්ම අලංකාර අරමුණු සඳහා පමණයි. මීට අමතරව, මේ කූඩූ වල ආලේපනය කර ඇති තීන්ත ඔයාගේ කුරුල්ලාට හානි කිරීමට හැකි විෂ සහිත රසායනික ද්‍රව්‍ය වලින් සමන්විත වෙන්න පුලුවන්. බොහෝ කුරුලු කූඩු නිශ්පාදනකරුවන් නියමිත ප්‍රමිතියට කූඩූ නිශ්පාදනය කරන්නේ නැහැ. ඒ නිසා නිතරම ප්‍රමිතියට සෑදූ කූඩූ මිලදි ගන්න උත්සහ කරන්න.

02. රවුම් කුරුලු කූඩු පිරිසිදු කිරීමට අපහසුයි

වටකුරු කූඩු වල ඇති පටු ස්වාභවය නිසා එය පිරිසිදු කිරීම ඉතාම අපහසුයි. නිසි ලෙස කුරුලු කූඩූ පිරිසිදු නොකලහොත් ඔබේ සුරතල් කුරුල්ලා රෝගී වීමට තියෙන ඉඩකඩ වැඩියි.

03. කුරුල්ලන්ට මානසික ආතතිය ඇති කළ හැකිය

කුරුල්ලන්ට රවුම් කූඩුවක සැඟවී සිටීමට මුලු නොමැති වීම නිසා ඔවුන් ආතතියට සහ බියට පත් වෙන්න පුලුවන්. ඔවුන් බොහෝ විට සුවපහසු ස්ථාන ලෙස සලකන්නේ කොන් සහිත සැඟවුණු ස්ථාන. ඔවුන් යමකට බිය වූ විටකදී සැඟවීමට මුලු ගැන්වුන කොනක් නොමැති වුවහොත් ඔවුන්ට අනාරක්ෂිත බවක් දැනෙන්නට පුළුවන්.

04. කුරුල්ලන්ට අවශ්‍ය උපකරණ තැබීමට ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීම

කුරුල්ලන්ට අවශ්‍ය වතුර භාජන, ආහාර තබන පිඟන්, සහ සෙල්ලම් බඩු ආදී උපාංග කිහිපයක් කූඩුව තුළ තැබීමට අවශ්‍ය වෙනවා. නමුත් වටකුරු කූඩුවල මේ පහසුකම නැහැ. කිසිම උපකරණයක් තබා ගන්න ඉඩ පහසුවක් නැහැ.

කුරුල්ලන්ට ගැලපෙන හොඳම කූඩූ හොයාගන්නේ කොහොමද?

  • සුමට ලෙස වෑල්ඩින් කර ඇති කූඩූ විය යුතුය. කූඩුවේ ඇති සියලුම වෑල්ඩින් ඩොට්ස් තියුණු ඒවා නොවිය යුතුයි.
  • නිදහසේ සැරිසැරිය හැකි ඉඩ ප්‍රමාණයක් සහ උපකරණ තැබීමට තරම් ඉඩකඩ තිබිය යුතුයි.
  • ඩයි හෝ තීන්ත වර්ග, මැලියම්, ප්ලාස්ටික්, නොදන්නා ලෝහ හෝ තියුණු දාර ඇති උපාංග යොදා සාදා ඇති කූඩු මිලදි ගන්න එපා.
  • ගැළවී නොයන C-කලම්පයක් සහිත දොරවල් ඇති කූඩූ තෝරාගන්න.
  • කූඩුවේ සියලු බාර් සමාන්තර විය යුතුයි. නැතහොත් ඇඟිලි, හොට හෝ පියාපත් ඇද වූ බාර් අස්සට ගොස් ඇමිණී ඔබේ සුරතලාට හානියක් පවා සිදුවිය හැකිය. ඔයා ගිරවුන් ඇති කරනවා නම්, ඔවුන්ගේ කූඩුවේ අවම වශයෙන් දෙපස තිරස් තීරු තියෙන බවට සහතික වන්න. තිරස් තීරු ඔයාගේ ගිරවාට සුවපහසු විදිහට ඉහලට නැඟීමට ඉඩ සලසනවා.

කූඩු ඉදිකිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

කූඩු නිර්මාණය සඳහා යොදා ගත යුතු අමුද්‍රව්‍ය

නිකල් සහ ඇලුමිනියම් ආලේප කරන ලද මල නොබැඳෙන වානේ හෝ ලෝහවලින් සාදන ලද කූඩු කුරුල්ලන් සඳහා ආරක්ෂිත කූඩු විදිහට දක්වන්න පුලුවන්. වානේ සහ යකඩ කුරුල්ලන් සඳහා ආරක්ෂිත නමුත් කාලයත් සමඟ ඒවා මල බැඳිය හැකියි. ඒ නිසා දිගුකාලීනව හොඳ විකල්ප වන්නේ මම කලින් සඳහන් කරපු නිකල් සහ ඇලුමිනියම් ආලේප කරන ලද මල නොබැඳෙන වානේ හෝ ලෝහවලින් සාදන ලද කූඩුයි. ඊයම්, සින්ක් හෝ තඹ වැනි විෂ සහිත ලෝහ අඩංගු විය හැකි කූඩූ ගැනීමෙන් වලකින්න. කුරුල්ලන් සඳහා සාමාන්‍යයෙන් ප්ලාස්ටික් කූඩු නිර්දේශ කරන්නේ නැහැ.

සුදුසු තීරු පරතරය සහ පළල

ඉතා දුරින් ඇති බාර්, කුරුල්ලන්ගේ පාද සහ තටු තුවාල වීමට සහ කුඩා කුරුල්ලන්ට පැන යාමට ඉඩ සලසනවා. ඒ නිසා සුදුසු තීරු පරතරයක් තබා ගනිමින් කූඩූ ඉදිකරන්න.

අවම වශයෙන් ඔයාගේ කුරුල්ලාගේ පියාපත් මෙන් දෙගුණයක් පළල කූඩුවක් තෝරගන්න ඕනී. ඔයා කුරුල්ලන් කිහිප දෙනෙක් එක කූඩූවක ඇති කරනවා නම් තරමක විශාල කූඩුවක් තොරාගන්න. ඔවුන් නිදහසේ පියාසර කරන සත්වයන් නිසා ඔබට හැකි උපරිම ඉඩක් ලබාදීම සුදුසුය.

මේ කරුණු කාරණා සියල්ලක්ම සැලකිල්ලට ගනිමින් ඔයාගේ සුරතල් කුරුල්ලට ගැලපෙන කූඩුවක් තෝරගන්න. කුරුල්ලන්ට අපහසුවකින් තොරව නිදහසේ සිටින්නට වගේම ලෙඩ රෝග වලින් තොරව සෞඛ්‍යසම්පන්නව සිටින්නන් උචිත කූඩුවක් තෝරාගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් එහෙනම් තවත් මේ වගේ වැදගත් තොරතුරු සහිත ලිපියකින් නැවත හමුවෙමු.

 

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
crossmenu