අලුත උපන් බළල් පැටවුන් පලමු සති 6 දී රැකබලාගන්න ඕනෙ මෙහෙමයි

April 12, 2024
ලිපි සැක​සු​ම
Primary Item (H2)

ඔයා බළල් පැටවෙක් ඇති දැඩි කරන්න කොච්චර දුරට සුදුසුද? මේ ප්‍රශ්නය බළලුන්ට ආස කරන සිය දෙනෙකුගෙන් අහුවොත් පිළිතුර වෙන්නෙ, ‘මම ඒකට ගොඩක් සුදුසුයි’ වගේ ධනාත්මක උත්තරයක් වෙන්න පුළුවන්. ඒත් ඔයා වැරදි වෙන්නත් පුළුවන්.

මොකද බළල් පැටවෙක් ඔවුන්ගේ මූලික අවධියේදී රැක බලාගැනීම එතරම්ම සරල කටයුත්තක් නෙවෙයි. ඒක බොහොම අවධානයෙන්, පිළිවෙලට කරන්න ඕනෙ දෙයක්. ඒ කාලයේදී ඔයා අනුගමනය කල යුතු විවිධාකාර පියවර තියෙනවා. ඒ පියවරයන් හරියට අනුගමනය කලොත් තමයි ඔයාට ශාරීරිකව වගේම මානසිකවත් නීරෝගී වැඩිහිටි පූසෙකු නිර්මාණය කරන්නට හැකි වෙන්නෙ.

ඉතින් අද මේ ලිපියෙන් අපි පියවරෙන් පියවර පැහැදිලිව ඒ ගැන කතාකරමු. කොහොමද මේ බළල් පැටවුන් ඔවුන්ගේ ජීවිතයේ මූලිකම අවධිය එහෙමත් නැතිනම් සති 6ක කාලය රැකබගන්න ඕනෙ කියන එක ගැන. මේ පියවරයන් පැහැදිලි කරගත්තම ඔයාටම තීරණය කරන්න පුළුවන් ඔයා බළල් පැටවෙක් ඇති කරන්න සුදුසුද නැද්ද කියන කාරණාව.

බළල් පැටවකු ඇති කිරීමට පෙර සලකා බැලිය යුතු දේවල්

ඔයා සුරතල් සතෙකු ඇති දැඩි කරන්න හිතනව නම් මුලින්ම මේ ගැන හිතන්න. බළල් පැටියෙකු හෝ වැඩිහිටි බළලෙකු වේවා, ඒ සුරතලා බොහෝ විට තම මවගෙන් හෝ අයිතිකරුවන්ගෙන් වෙන් කිරීම හෝ අතහැර දැමීම නිසා ආතති සහගත තත්වයක සිටීමේ සම්භාවිතාවය බොහොම වැඩියි. මෙම තත්වයන් දිර්ඝකාලීන මානසික කැළැල් ඇති කළ හැකි අතර, සත්වයාගේ වැරදි හැසිරීම් රටාවන් ඇතිවන්නට හේතු වෙන්නටත් පුළුවන්. ඔයා එවැනි බළල් පැටවකු ඇති කරන්නට හිතනව නම් ඔවුන්ගේ සැබෑ පෞරුෂය පිටතට ගෙන ඒම සඳහා නිමක් නැතිව ඉවසිලිවන්තව කටයුතු කරන්නට වගබලාගැනීම අත්‍යාවශ්‍යයි.

Related article: පූස​න් පෙන්වන පෞරුෂ ගතිලක්ෂණ 5ක් මෙන්​න

ඒ ඉවසිලිවන්තභාවයට අමතරව සුරතල් සතෙකු පෝෂණය කිරීමට ඔයාට ප්රමාණවත් කාලයක් තියෙනවද කියන එක තහවුරු කරගන්න ඕනෙ. ඔයා දැනටමත් කාර්යබහුල ජීවන රටාවක් ගත කරනව නම්, සුරතල් සතුන් වෙනුවෙන් කැප කරන්නට තරම් කාලයක් ඔයාට ඇත්තෙන්ම නැති වෙන්නට පුළුවන්. එහෙම කාලයක් නැතිව තියෙද්දි අලුත උපන් සුරතලෙක් ඇති කිරීම සඳහා තෝරාගැනීම ඒ සත්වයාට බොහොම සෘණාත්මක අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට ඔයාගේ අනිත් වැඩ කිසිම සැළසුමක් නැතිව ගොඩ ගැසීම නිසා ඔයාට සුරතලා පිළිබඳව ඇති ආසාව එහෙමත් නැත්නම් සෙනහස අඩු වෙන්නටත් පුළුවන්.

අවසාන වශයෙන් ඔයා රැකවරණය සපයන පරිසරය සලකා බලන්න. ඔයාට දැනටමත් සුරතල් සතුන් ඉන්නවා නම්, ඔවුන් අතරේ අලුත් සතෙකු හැසිරවිය හැකිද? සතුන් කිහිප දෙනෙකුට පහසුවෙන් ඉන්නට තරම් ඔයාගෙ නිවස ප්‍රමානවත්ද, සහ ඔවුන්ගේ ආහාර ඇතුළු සියලු අවශ්‍යතා ඔයාට අඩුපාඩුවක් නැතිව සම්පූර්ණ කළ හැකිද කියන කාරනා ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න එකත් අත්‍යාවශ්‍යයි.

බළල් පැටවුන් ඇති කරන්න වඩාත් සුදුසු ක්‍රමය

සරලවම, බළල් පැටවුන් ඇති කරන්නට වඩාත් සුදුසු ක්‍රමය ඔයාට අදාළ වැඩක් නෙවෙයි. මොකක්? ඔව් ඔයා කියෙව්වා හරි. මොකද බළල් පැටවෙක් හොඳ කායික සෞඛයකින් සහ හොඳ මානසික සෞඛයකින් වැඩෙන්නට නම් අනිවාරයෙන්ම ඔවුන් තමන්ගේ බළල් මව සමඟ වැඩෙන්නට අවශ්‍යයි. ඒ ආකාරයට, බළල් මව සමග ගත කරන්න ඕනෙ කාලය අවම වශයෙන් සති 4ක් කියලා තමා පිළිගන්නේ.

ඒ නිසා, ඔයා ඇති දැඩි කරන්නට යන බළල් පැටවාගේ මව සිටිනවා නම් කිසිම අවස්ථාවක සති 4ක් 6ක් යනතුරුම එයාව එයාගේ මවගෙන් වෙන් නොකර ඉන්න වගබලාගන්න. ඒ ආදරය, රැකවරනය සහ සහජ පුරුදු ඇතිකිරීම ස්වභාවිකවම ලැබෙන්නට ඉඩ දෙන්න.

නමුත් සෑම අවස්ථාවකම ඔයා ඇතිකරන බළල් පැටවාගේ මව කව්ද කියන එක ඔයා නොදන්නවා වෙන්න පුළුවන්. මොකද මහපාරේ අතරමංවී සිටින බළල් පැටවෙකුට උනත් ඔබට හිත යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා වෙනත් තැනකින් එයාව ගන්නත් පුළුවන්. ඉතින් එහෙම අවස්ථා වල ඔයා කොහොමද එයාව බලාගන්නෙ? ඒ ගැන තමයි ඊළගට කියන්න යන්නේ.

උපන් මොහොතේ සිට සති 4ක් දක්වා කාලය

බළල් පැටවෙක් උපන් මොහොතේ සිට සති 4ක් දක්වා කාලය බොහොම වැදගත් කියල දැන් ඔයා දන්නවා. ඒ සති 4ක කාලය තුළත් ඔවුන් සති දෙකක් යන තුරුම දෑස් සම්පූර්ණයෙන් විවර කරන්නේ නැහැ (දින 2ත් -16ත් අතර ඔවුන් දෑස් විවර කළත් සම්පූර්ණ පෙනීම ලැබෙන්න සති 6ක් වත් යනවා කියලා තමා PetMD සඟරාවෙන් කියන්නේ). ඒ වගේම මේ කාලයේ ඔවුන්ට ඔවුන්ගේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කරගන්නටත් බැහැ. ඒ නිසා ඔවුන් සෑම විටම හොඳ උෂ්ණත්වයකින් තැබිය යුතුය. 37°C උෂ්ණත්වය ඒ සඳහා නිර්දේශිතයි. ඒ සදහා ඔබට ඔවුන්ව තුවායක් වැනි දෙයකින් ආවරණය කළ හැකිය.

අලුත උපන් බළල් පැටවෙක් සාමාන්‍යයෙන් පැය දෙකකට හෝ හතරකට වරක් පෝෂණය කරන්න ඕනේ. බළල් අම්මා ළඟ නැතිනම් ඔයාට පුළුවන් උණු කල කළ නිවා ගත් කිරි ඔවුන්ට ලබා දෙන්න. හැබැයි අපි භාවිතා කරන කිරි නම් මේ කුඩා පැටවුන්ට හොද නෑ. ඒ වෙනුවට ඔබට බළල් පැටවුන් වෙනුවෙන්ම ඇති Beaphar Lactol Kitten Milk හෝ එළු කිරි භාවිතා කරන්න පුළුවන්. මේ වෙනුවෙන්, සුරතලුන් වෙනුවෙන්ම ඇති කි​රි පොවන බෝතලයක් (Pet Milk Feeding Bottle) හෝ කුඩා දරුවන්ට කිරි පොවන වර්ගයේ බෝතලයක් භාවිතා කරන්න පුළුවන්.

පෝෂණය කිරීමෙන් පස්සේ බළල් මව විසින්, ඔවුන්ට මලපහ කිරීම පහසු කිරීම සඳහා ලිංගික ප්‍රදේශය උත්තේජනය කිරීම සිදුකරනවා. මේ දේ ඔයාට කෘතිමව කරන්න පුළුවන් උණු වතුරේ ගිල්වලා ගත්ත පුළුන් කැබැල්ලකින් ඔවුන්ගේ ලිංගික ප්‍රදේශය උත්තේජනය කිරීම මගින්. නිතර නිතර මේ දේ සිදු කිරීම මඟින් ඔවුන්ට මළපහ කිරීමේ අවශ්‍යතාවය ඇතිවෙනවා. නමුත් දින දෙකකින් මල පහක් පිටවුණේ නැත්නම් පශු වෛද්‍යවරයෙක්ද යොමු වෙන එක තමයි හොඳමදේ.

සති 4ත් 6ත් දක්වා කාලය

සති හතරක් ගත වුනාට පස්සේ ඔවුන්ව දැඩි උණුසුමක තැබීම එතරම්ම අත්‍යවශ්‍ය දෙයක් නොවුනත්, සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ ඔවුන්ව තැබීම තමයි වඩාත්ම නුවණට හුරු. මේ කාලයේදී ඔයාට පුළුවන් ඔවුන්ට කිරි බෝතලය වෙනුවට බඳුනක් පාවිච්චි කරන්න පටන් ගන්න. මොකද මේ කාලය වන විට ඔවුන් සූදානම් ස්වාධීනව ආහාර ගන්න පුරුදු වෙන්න.

ඒ කොහොම වුණත් ඔවුන් ස්වාධීනව ආහාර ගන්න තාම සූදානම් නෑ කියලා හිතෙනවා නම්, ඔයාට තවදුරටත් කිරි බෝතලය පාවිච්චි කරන්න පුළුවන්. ටිකෙන් ටික බඳුනක් භාවිතා කරන්න පටන් ගන්න එකයි හොඳම විසඳුම. මේ කාලයේදීත් ඔවුන්ට වියළි ආහාර ලබාදීම එච්චර සුදුසු වෙන්නෙ නෑ. ඒ වෙනුවට තවදුරටත් දියරමය ආහාර දෙන එක තමයි ගොඩක්ම හොඳ. මොකද ඔවුන්ට සැපීමේ අපහසුතා ඇති වෙන්න පුළුවන් වගේම, විජලන තත්වයන් වුනත් ඇතිවෙන්න පුළුවන්. වෙළදපොලෙන් උනත් ඔබට දියරමය ආහාර පැකට් ලබා ගන්න පුළුවන්.

මේ කාලයේදී ඔයාට පුළුවන් තෙත රෙදි කඩකින් එයාලගේ මූණ සහ පාද පිහිදම්මෙන් පිරිසිදුව සිටීමේ වැදගත්කම එයාලට පෙන්නන්න. මොකද මේ කාලයේදී ඔවුන් පුරුදු වෙනවා, තමන් ගැනත්, තමන්ගේ පරිසරය ගැනත් ඉගෙන ගන්න. කාලයත් එක්ක ඔවුන් ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය කුසලතා සහජයෙන්ම ඉගෙන ගන්නවා.

සති 6ක කාලය ඉක්මවූවට පසුව

දැන් ඔයාගේ බලල් පැටියා සාමාන්‍යයෙන් 600G සහ 1KG අතර බරින් වැඩුනු සත්වයෙක්. මේ වෙනකොට එයා හොඳින් කිරි බීලා, වැඩිලයි ඉන්නෙ. මේ කාලය වෙද්දි දිනකට පැය 2කට හෝ 4කට වරක් පෝෂණය කරනවා වෙනුවට, පැය 6කට හෝ 8කට වරක් පෝෂණය කිරීම ප්‍රමාණවත් වෙනවා. සරලවම දිනකට වේල් 3ක් හෝ 4ක්.

මේ කාලයේදී බළල් පැටවුන් උපරිමයෙන් ක්‍රියාශීලී වෙන නිසා, ඔවුන් සමඟ සෙල්ලම් කරන්න ඔයාට වෙලාව වෙන් කරන්න වෙනවා. ඒ ක්‍රියාශීලී කාලයේදී ඔවුන්ව තනි නොකර සිටීම වැදගත්. මේ කාලයේදී ඔවුන් ඉන්නේ ලොකු කුතුහලයෙකි. ඒ කුතුහල තුලින් දේවල් ඉගෙන ගන්න සහය වෙන්න ඔයාට පුළුවන්.

මේ කාලයේදී තමයි ඔයා සාමාන්‍යයෙන් මුලින්ම පශු වෛද්‍යවරයෙක්ව හමුවෙන්න යන්න ඕනේ. හැබැයි මොකක්ම හරි විශේෂ අසනීප තත්ත්වයක් තියෙනවනම් ඔයාට මීට කලින් යන්න සිද්ධ වෙලා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කාලයයි වඩාත් සුදුසු.

ඉතින් දැන් ඔයාට පුළුවන් පශු වෛද්‍යවරයාගේ නිර්දේශත් එක්ක, ඔයාගේ සුරතලාට වියලි ආහාර ලබා දෙන්න පටන් ගන්න. සමහරවිට ඔයාගේ සුරතලාට වියළි ආහාර ලබා දෙන්න පටන් ගන්න තාම සුදුසු නැති වෙන්න පුළුවන්. ඒ නිසා වෛද්‍ය නිර්දේශයක් ඇතිව ඒක කරන එක තමයි වඩාත්ම සුදුසු.

ඒ වගේම තාමත් ඔවුන් ක්‍රියාශීලී වෙලා නැත්නම්, ඒ වගේම ඔවුන් තමන්ගේ පිරිසුදුකම ගැන සැලකිලිමත් වෙන්නේ නැත්නම්, ඒ සම්බන්ධව කරන්න ඕනි මොනවද කියලා ඔයාගේ පශු වෛද්‍යවරයා ඔයාට නිර්දේශ කරයි. මොකද බළල් පැටවා ඉන්න තත්ත්වයත් එක්ක ඔයා කරන්න ඕන දේ වෙනස් වෙන්න පුළුවන්.

ඉතින් අලුත් උපන් බළල් පැටියෙක් ඇති කරන්න ඔයා හිතනවනම්, ඔයා දැනගන්න ඕන දේවල් ටික තමයි අපි මේ කතා කළේ. මේ පියවරයන් ටික හරියට අනුගමනය කලොත් ඔයාට පුළුවන් බොහොම නීරෝගී බලල් පැටියෙක්ව නිර්මණය කරන්න. මේ ගැන ඔයාටත් අදහස්, යෝජනා, චෝදනා වගේම අත්දැකීමුත් ඇති. ඉතින් ඒවා පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම, අපි ඉස්සරහට ඔයාල වෙනුවෙන් ගේන්න ඕනෙ ලිපි මොන වගේ මාතෘකා යටතේද කියලත් අනිවාරයෙන්ම සඳහන් කරන්න.

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
4.4 5 votes
Article Rating
Subscribe
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Nadeeka Rosa

හොද ලිපියක්...ගොඩක් දැනුවත් උනා.ස්තූතියි 🙏🙏

crossmenu