පූ බබාට දැන් වයස කීයද? මිනිස් අවුරුදු වලින් පූසන්ගේ වයස බලමු

April 22, 2024
ලිපි සැක​සු​ම
Primary Item (H2)

ගොඩක් පූස් අයිතිකරුවන් එහෙමත් නැත්නම් අපේ ආදරණීය පූස් අයියලා අක්කලා අම්මලා තාත්තලා හරි ආසයි එයාලගේ පූ බබාලගේ උපන්දිනය සමරන්න. මොකද එයාලත් අපේ පවුලේම සාමාජිකයන් නිසා. හැබැයි එයාල වයසට යන්නේ අපි වගේ මාස 12කින් (මිනිස් අවුරුද්දක්) නම් නෙමේ. මොකක්? එතකොට පූසෝ වයසට යන්නේ කොහොමද? සමහර විට ඔයා මේ ගැන දැනගෙන ඉන්නත් පුළුවන්. ඒ වගේම ඔයා දන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් අද අපි බලමු පූසන්ගේ වයස ගණනය කරන්නේ කොහොමද කියලා.

පශු වෛද්‍යවරියක් සහ Lap of Love Veterinary Hospice හි සම-නිර්මාතෘවරිය වන Mary Gardnerට අනුව බළල් අවුරුදු මිනිස් අවුරුදු බවට පරිවර්තනය කිරීම මගින් බළලුන්ගේ සහ අපගේ වයසට යෑමේ ක්‍රියාපටිපාටියේ වෙනස ගණනය කළ හැකිය. ඒ ඔස්සේ මිනිස් අවුරුදු වලට අනුව බළලුන්ගේ වයස නිවරැදිව ගණනය කළ හැකිය. අපි වයසට යනකොට, එහෙමත් නැත්නම් අපි වයෝවෘද්ධ වෙනකොට අපිට එහා මෙහා යන්න තමන්ගෙම වැඩක් කරගන්න අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඉතින් පූ බබාලට කියලා ඒකේ වෙනසක් නෑ. එයාලත් වයසට යද්දි, එහෙම නැත්නම් එයාලට මිනිස් අවුරුදු 11ක් පමණ වෙද්දි (බළල් අවුරුදු වලින් නම් වසර 60ක් පමණ වෙද්දි) එයාලටත් මේ අපහසුතාවයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් කොහොමද අපි පූ බබාලගේ වයස මිනිස් අවුරුදු වලින් ගණනය කරන්නේ?

ඔයා මේවා ගැන දන්නවද? (touch here)
  • බළලුන් ඔවුන්ගේ ජීවිතයේ පළමු වසර තුළ මිනිස් අවුරුදු 15ක් සම්පූර්ණ කරයි.
  • බළලුන්, ඔවුන්ගේ වර්ගය කුමක් උනත් සාපෙක්ශව සමාන ​අනුපාතයකින් වයස්ගත වේ.
  • උපන්දින නොදන්න බළලෙකුගේ වයස නීර්ණය කිරීමට පශු වෛද්‍යවරුන් විවිද සෞඛ්‍ය දර්ශක භාවිතා කරයි.

මිනිස් අවුරුද්දක් කියන්නේ බළල් අවුරුදු කීයක්ද?

American Veterinary Medical Association (AVMA) එකට අනුව බළලෙකු ඔවුන්ගේ පළමු මිනිස් අවුරුද්ද තුළ බළල් අවුරුදු 15ක් සම්පූර්ණ කරයි. නමුත් දෙවෙනි මිනිස් අවුරුද්ද තුළදි පෙර මෙන් තවත් බළල් අවුරුදු 15ක් ගෙවා දමන්නේ නැත. දෙවනි මිනිස් අවුරුද්ද සම්පූර්ණයේදී බළල් අවුරුදු ක්‍රමයට ඔවුන්ගේ සම්පූර්ණ වයස බළල් අවුරුදු 24කි. දෙවෙනි මිනිස් අවුරුද්දට පසුව ඔවුන් සෑම මිනිස් අවුරුද්දක් තුළදීම බළල් අවුරුදු 4කින් වයස් ගත වේ.

ඔයාටත් දැන් ලේසියෙන්ම ඔයාගේ පූ බබාගේ වයස හරියටම ගණනය කරගන්න පුළුවන්. World Animal Foundation එක මඟින් සපයන බළල් වයස ගණනය කරන calculator එකේන් ඔයාගේ පූ බබාගේ වයස කීයද කියලා පහතින් බලන්න.

මිනිස් අවුරුදුබළල් අවුරුදු
115
224
328
432
536
640
744
848
952
1056
1160
1264

ඉපදුනු දවස නොදන්න පූ බබෙක්ගෙ වයස කොහොමද හොයා ගන්නේ?

හැම පූ බබෙක්ම අපි ගාවදිම ඉපදෙන්නේ නෑ. ඔයා සමහර වෙලාවට පාරේ අතරමං වෙච්චි පොඩි පූ බබෙක්ට රැකවරණය සහ නිවසක් සපයන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා පූ බබෙක්ව කිසියම් කෙනෙක්ගෙන් හෝ pet shop එකකින් අරගන්න පුළුවන්. පූ බබාගේ උපන් විස්තර ඔයා නොදන්න වෙලාවක කොහොමද එයාගේ උපන් දිනය හොයා ගන්නේ කියන ප්‍රශ්නය ඔයාට එහෙම අවස්තා වලදි ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද හරියට උපන් දිනයක් නොදන්න පූ බබෙක්ගෙ වයස ගණනය කරන්නේ කියලා. මේ සඳහා ඔබට පශු වෛද්‍යවරයෙකුගේ උපකාරය ලබා ගත හැකිය.

  1. දත් පරීක්ශා කිරීම මගින්
    බළල් පැටවකුගේ කිරි දත් සාමාන්‍යයෙන් සති 3ත්-4ත් අතරදී වර්ධනය වන අතර සති 6ත්-7ත් අතර කාලය වන විට සම්පූර්ණ කිරි දත් කට්ටලයක් ඔවුනට ලැබෙනු ඇත. ඉන්පසු මාස 3ක් පමන වන විට කිරි දත් වැටී වැඩිහිටි දත් වැඩීම ආරම්භ වේ. මාස 6ක් 7ක් වන විට ඔවුනට වැඩිහිටි දත් 30ක් පමණ හිමිවේ. උපන් දිනයක් නොදන්නා බළලෙකුගේ වයස තීරණය කිරීමට දන්ත පරීක්ශනය බෙහෙවින් උපකාරී වේ.
  2. ලෝම සහ චර්ම සෞඛ්‍ය
    බළලුන් වයස් ගත වීමේදි ඔවුන්ගේ ලොම් වල කුඩා කාලයේ තිබුණු දැඩි දීප්තිමත් ස්වභාවය ක්‍රමක්‍රමයේන් අඩු විය හැකිය. එමෙන්ම ඔවුන්ගේ සමේ ප්‍රත්‍යාස්ථතාවයද අඩු විය හැකිය. තවද වැඩිහිටි බළලුන් සන්ධි හෝ දන්ත වේදනාවන් අත්විඳින විට ඔවුන් තම ලොම් දිවෙන් ලෙවකා (grooming) පිරිසිදු කරගැනීමද පෙර මෙන් නිතරම සිදු නොකරනුද ඇත.
  3. මාංශ පේශි වල ස්වභාවය
    බළලුන් වයසින් වැඩෙත්ම ඔවුන්ගේ පිටුපස, උරහිස් සහ කලවා වැනි ශරීරයේ ඇතැම් ස්ථානවල මාංශ පේශි අහිමි වේ. පශු වෛද්‍යවරුන් ඔවුන්ගේ මාංශ පේශි කොපමණ ප්‍රමාණයක් අහිමි වී ඇත්දැයි බැලීමට විශේෂ වගුවක් භාවිතා කරයි (World Small Animal Veterinary Association (WSAVA) Muscle Condition Scoring Chart). බළලාට සංචරණ ගැටලුවක් තිබේද නැතහොත් ඔවුන්ගේ සන්ධිවල වේදනාවක් දැනෙනවාද යන්නද ඔවුන් පරීක්ෂා කරයි.
  4. අක්ෂි සෞඛ්‍යය
    පශු වෛද්‍යවරුන්ට බළලෙකුගේ වයස ආසන්න වශයෙන් තීරණය කිරීමට බළලාගේ ඇස් උපකාරී වේ. විශේෂයෙන් බළලාගේ අක්ශි කාච පරීක්ශාව මේ සඳහා යොදා ගනී.

බළලුන් කොපමන කාලයක් ජීවත් වේද?

බළලුන්ගේ සාමාන්‍ය ජීව කාලය අවුරුදු 12ත් - 15ත් අතර වේ. වෛද්‍ය ප්‍රතිකාර, නිසි පෝශණය මෙන්ම ඔබගේ සහ පූ බබාගේ අතර ඇති සහසම්බන්දයද ඔවුන්ගේ ජීව කාලය වැඩි වීමට බෙහෙවින් බලපායි.

එහෙනම් අළුත් ලිපියකින් ආයෙත් හම්බවෙමු. මේ ලිපිය ගැන ඔබගේ අදහස්, යෝජනා වගේම චෝදනාත් පහළින් කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
4 4 votes
Article Rating
Subscribe
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Chani

Thank you
මගේ කෙනාට වයස 28යි

crossmenu