බෙංගාල බළලා (Bengal cat) - ආලින්දයේ ව්‍යාඝ්‍රයා

April 14, 2024
ලිපි සැක​සු​ම
Primary Item (H2)

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේදි විවිධ සුනඛ විශේෂ රාශියක්ම දැකගන්න පුළුවන් උනත්, බළල් විශේෂනම් දැකගන්න හම්බෙන්නෙ බොහොමත්ම අඩුවෙන්. ඒ උනත්, සුරතල් සතුන් විකිණීමට ඇති ස්ථාන වලින් විවිධාකාරයේ බලල් විශේෂ ශ්‍රී ලංකාවේදීත් හොයාගන්න අපහසු නෑ. අන්න ඒ වගේ විරල, නමුත් සොයාගැනීමට එතරම් අපහසු නැති බළල් විශේෂයක් තමා බෙංගාල බළල් (Bengal cat) විශේෂය කියන්නෙ. ඉතින් මේ ලිපියෙන් අපි කතා කරමු මේ බෙංගාල කොටියෙක් වගේ පේන, බෙංගාල බළලුන් ගැන ඔයා දන්න නොදන්න හැමදේම. සමහර විට, මේක කියවල අවසන් වෙද්දි ඔයාටත් බෙංගාල බළලෙක් ඇති කරන්න ආස හිතෙන්නත් පුළුවන්.

බෙංගාල බළලුන්ට කොටියෙකුගේ මෙන් ස්වරූපයක් ලැබුණෙ කොහොමද?

ඔව්! කොහොමටත් බළලුන්, දිවියන්, ව්‍යාග්‍රයින්, කොටියන් විතරක් නෙවෙයි, සිංහයන් කියන්නෙත් බිලාල එහෙමත් නැතිනම් බළල් පවුලට අයත් සතුන්. ඉතින් ඒ ඒ සතුන් අතර යම්කිසි සමාන ලක්ෂණ තියෙන එක සාමාන්‍යයි. ඔයා දැකල ඇති බළලුන් වගේම අනෙක් බිලාලා පවුලේ සතුන් සියල්ලම ඇවිදින්නේ බොහොම සාමාන රටාවකට. ඒත් ඒ දේවල් එහෙම උනාට බළලුන්ගේ සහ කොටියන්ගේ ස්වරූපය නම් හාත්පසින්ම වෙනස්.

ඉතින් එහෙම වෙනස්කමක් තියෙනකොට බෙංගාල කොටියෙකුගේ ස්වරූපය තියෙන පූස් බබෙක් කියන්නෙ බොහොම විශේෂ දෙයක්. ඇත්ත වශයෙන්ම මේ බෙංගාල බළලුන් බිහිවී ඇත්තේ "Asian Leopard Cat" සමඟ ගෘහස්ථ බළලෙකු අභිජනනය කිරීම මඟිනුයි. මේ නිසාම කාලයත් සමඟ බෙංගාල බලලුන්ගේ වනචාරී (wild) ස්වභාවය බොහෝ දුරට අඩුවී හීලෑ වීමකට ලක්ව තිබේ.

සෑම බෙංගාල බළලෙක්ම ගෘහාශ්‍රිතව ඇති කරන්නට සුදුසු නැහැ

බෙංගාල බළලුන් ප්‍රථම වරට බළල් වර්ගයක් ලෙස පිළිගනු ලබන්නේ 1983 වසරේදී. එතැන් පටන් මොවුන් විශාල ප්‍රසිද්ධියෙක් අත් කර ගත්තත් සෑම බෙංගාල බළලෙක්ම ගෘහාශ්‍රිතව ඇති කරන්නට සුදුසු වන්නේ නැහැ. ඒකට හේතුව වන්නේ ඔවුන්ව වර්ගීකරණය කරන ආකාරයයි.

මේ වර්ගීකරණයේදී කරන්නේ ඒ බළලුන් ඔවුන්ගේ මුල් හීලෑ නොවූ දෙම්ව්පියන්ගෙන් (Original wild parent) කොච්චර දුරස් පරම්පරාවකද කියලා හඳුනාගන්න එකයි. ඒ අනුව මේ බළලුන් F1, F2, F3 සහ F4 දක්වා කාණ්ඩ 4කට වර්ග කෙරෙනවා. ඔයා ගෘහස්ථිතව ඇති කරන්න බෙංගාල පූසෙක් තෝර ගන්නවා නම් ඒ සුරතලා F4 කියන පරම්පරාවට අයත් වෙනව නම් තමයි වඩාත් සුදුසු. ඇමරිකාවේ වගේ නම් සමහර ප්‍රාන්ත වල වෙනත් පරම්පරාවල බෙංගාල බළලුන් ඇති කිරීම තහනම් කරලත් තියෙනවා.

මේ විදිහට පරම්පරා වෙන් කරන්න විශේෂ හේතුවක් තියෙනවා. මොකද බෙංගාලා බළලුන්ගේ මුල් පරම්පරාවල සතුන් දැඩි නොහික්මුණු හැසිරීම් රටාවක් (Wild behaviours) පෙන්නුම් කරනවා. ඒ නිසා ඔවුන් කිසිම විටෙක ගෘහාශ්‍රිතව ඇති කිරීම පහසු නෑ. නමුත් පරම්පරා කිහිපයක් ඉදිරියට එනකොට ඒ සතුන් ගෘහස්ථ පරිසරයකට හුරු වෙලා තියෙනවා.

බෙංගාල බළලුන් හඳුනගන්නෙ මෙහෙමයි

බෙංගාල බළලුන් Asian Leopard Cat යන වර්ගයෙන් පැවැත ගෙන එන නිසා අනෙකුත් ගෘහස්ථ බළල්ලුන්ට වඩා ගොඩක් වෙනස් කියලා අපි කලින් කතා කළා. මේ සතුන්ගේ තියෙන්නේ දුඹුරු, රිදී පාට සහ සුදු වර්ණයන් මිශ්‍ර වු ලෝම රටාවක්.

ඒ වගේම මේ සතුන් රාත්තල් 8 - 15 අතර බරකින් යුක්ත වෙනවා. ඇස්වල වර්ණය සාමාන්‍යයෙන් දුඹුරු, කහ, තැඹිලි සහ කොළ වර්ණවලින් දැකගන්න පුළුවන්. බෙංගාල බළලුන් යනු ඔවුන්ගේ Asian Leopard Cat සම්භවය කෙලින්ම පිළිබිඹු කරන rosette සලකුණු ඇති එකම අභිජනනයයි.

මේ සතුන් අනෙකුත් සාමාන්‍ය ගෘහාශ්‍රිත බළලුන්ගේ ප්‍රමාණයේම වුණත් මේ සතුන්ට ඇති දිගු මාංශ පේශීන් නිසා සාමාන්‍ය බලලෙකුට වඩා විශාලව පේන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට පිහිටල තියෙන දිගු කකුල් නිසා, සාමාන්‍ය බළලෙකුට වඩා උසක් පැනීමට ඔවුන්ට හැකියි. ඒ හැකියාවත් අනෙකුත් බළලුන්ගෙන් මොවුන් වෙන්කරන විශේෂ ලක්ෂණයක්.

බෙංගාල බළලුන්ගේ හැසිරීම් ස්වභාවය

බෙංගාලයන් පිටතින් කෙතරම් වල් ස්වභාවයක් පෙන්වුවත්, ඇතුළතින් බොහොම මෘදු සතුන් කොට්ඨාශයක්. මේ සත්තුන්ගේ ප්‍රියතමයා වෙන්නෙ තමන්ගේ ස්වාමියා වුනත්, අනෙක් මිනිසුන් එක්කත් බොහොම සාමූහිකයි. විශේෂයෙන්ම කුඩා දරුවන් එක්ක වගේම වෙනත් බළලුන් සමගත් බොහොම විවෘතව හැසිරෙනවා. නමුත් වයසින් වැඩුණු බෙංගාලයෙකුට නම් අලුත් සුරතලයෙක් හඳුන්වාදීම එච්චර ලේසි වෙන්නේ නෑ.

බෙංගාල බළලුන් ද ඔවුන්ගේ අයිතිකරුවන් සමඟ තරමක් හොඳින් අදහස් හුවමාරු කරගන්නවා. ඔවුන් ඕනෑවට වඩා ශබ්ද නොකරන නමුත් ඔවුන්ට අවශ්‍ය දේ හරියටම පැවසීමට දක්ෂයි. ඒ වගේම මොවුන් ඉතාමත් ආචාරශීලීයි. විශේෂයෙන්ම තමන්ගේ ස්වාමියාට. ඒ වගේම මෙයාලා ‍බුද්ධිමත් සහ නිතරම කුතුහලයන් ඉන්න බළල් විශේෂයක්. මේ කුතුහලය නිසාම ඔවුන් නිතරම ක්‍රියාශීලීයි වගේම සෙල්ලමටත් බොහොම කැමතියි. විශේෂම දේ තමයි මොවුන් ජලයට ප්‍රිය කරන එක. ඔව්! වෙනත් බොහෝ බළල් විශේෂ ජලයට ප්‍රිය නැහැනෙ.

නිතරම තමන්ගේ ස්වාමියා සහ පවුලේ අය වටපිටාවේ ඉන්න තාක් බෙංගාල බළලුත් ඉතාමත් සතුටින් ජීවත් වෙනවා. තමන් ඉන්නෙ කුඩා ගෙයකද, විශාල මන්දිරයකද, මහල් නිවාසයකද කියන එක මේ බළලුන්ට කිසිසේත්ම අදාළ වෙන්නේ නෑ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ හැකිතාක් නිදහසේ ජීවත් වෙන්නයි.

හොඳ දඩයක්කරුවෙක් නිසා පරිස්සමෙන්

මොවුන් ඉතාමත් හොඳ දඩයක්කරුවන්. ඒ නිසා ඔයාගේ ගෙවත් අවට සැරිසරණ කුරුල්ලන් ලේනන් වැනි කුඩා සතුන් මෙයාට පහසුවෙන්ම ගොදුරු වෙන්න පුළුවන්. ඇත්තෙන්ම සාමාන්‍ය ගෘහස්ථ බළලුන්ට වඩා මෙයාගේ දඩයම් කිරීමේ හැකියාව ඉහළයි. මීයන්ගේ වදයකින් පෙලෙනවා නම් මේ තමයි ඔයාට හොඳම විසඳුම. එහෙම වුණත් ගෙවත්තට එන, කිසිම කරදරයක් නැති කුඩා සතුන් මෙයාගෙන් ආරක්ෂා කරගන්න එක තමයි ඔයාට කරන්න වෙන අමාරුම වැඩේ.

බෙංගාල බළලුන්ව රැකබලාගැනීම

බෙංගාලා බළලුන් රැකබලා ගැනීම එතරම් අපහසුකාරයක් නෙමෙයි. විශේෂම දේ ඔවුන් හැමවිටම මානසිකව උත්තේජනය කරන ක්‍රියාකාරකම් වලට යොමු කරන එකයි.ඒ වෙනුවෙන් කරන්න පුළුවන් සරලම දේවල් තමයි, නිවසට පැමිණෙන පුද්ගලයන් සමඟ, දරුවන් සමඟ වගේම වෙනත් සුරතලුන් සමග සෙල්ලම් කිරීමට ඉඩදීම සහ හැකි සෑම අවස්ථාවකම එළිමහන්නට රැගෙන යෑම වගේ ක්‍රියාකාරකම්.

ඒ වගේම මොවුන්ගේ ආකර්ශනීය ලෝම හැමවෙලේම ඉහළම තත්ත්වය තියාගන්න නම් සතියකට වරක්වත් ඒවා හොඳ බුරුසුවකින් පිරිමදින්න අවශ්‍යයි. මොවුන් කොහොමත් ජලයට පිය කරන නිසා ඉඳහිට නෑවීමත් වැදගත්. ඒ වගේම හැකි සෑම විටම ඔවුන්ගේ දත් සහ නිය හොඳින්න් පිරිසිදු කිරීමත් වැදගත්. දත් සහ නිය රැකවරණය ඇත්ත වශයෙන්ම අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඔයාට කාලය තියෙනවා නම් ඉඳහිට හෝ කරන්න අමතක කරන්න එපා.

බෙංගාල බළලුන්ගේ සෞඛ්‍ය තත්වය

සාමාන්‍ය බෙංගාල බළලුන්ගේ ආයු කාලය අවුරුදු 9ත් - 15ත් වන අතර, ඔවුන් සාපේක්ෂව නිරෝගී බළල් විශේෂයක්. කොහොම උනත් ඔයා අලුත් බෙංගාලයෙකු මිලදී ගැනීමට හෝ හදා ගැනීමට පෙර මතක තබා ගන්න ඕනෙ සෞඛ්‍ය ගැටළු කිහිපයක් ඔවුන්ට තිබේ. බොහෝමයක්ම සතුන් අභිජනනය කරන්නන් ජානමය සෞඛ්‍ය ගැටලු නොමැතිව සතුන් බෝ කිරීමට ප්‍රවේශම් වෙනවා. නමුත් බෙංගාලයන් අතර බහුලව දක්නට ලැබෙන රෝග තුනක් තියෙනවා.

01 හෘද රෝග

බෙංගාල බළලුන් තුළ ඇති හෘද රෝග hypertrophic cardiomyopathy ලෙස හඳුන්වනු ලබන අතර, විශේෂයෙන් මෙහිදී වැඩිහිටි සතුන් තුළ හෘද පේශි ඝන වීමට හැකියි. මෙය රුධිර කැටි ගැසීම් හෝ හෘදයාබාධ ( congestive heart failure ) ඇතිවීම වැනි තත්වයන්ට හේතු වන්නට පුළුවන්.

02 අක්ෂි රෝග

බෙංගාලයන්ට ප්‍රගතිශීලී දෘෂ්ටි විතානයේ ක්‍ෂය වීම නමින් හැඳින්වෙන අක්ෂි රෝග තත්වයක් හැතිවීමේ අවධානමක් තියෙනවා. එය දෘෂ්ටි විතානයේ පිරිහීම සහ අවසානයේ අන්ධභාවයට පවා හේතු වෙන්නට පුළුවන්.

03 නිර්වින්දන අසාත්මිකතා

බෙංගාලයන් නිර්වින්දනයට අතිශයින් සංවේදී විය හැකි අතර, වන්ධ්‍යාකරණය ඇතුළුව ඕනෑම ශල්‍යකර්මයක් අතරතුර නිසි ක්‍රියාපාටියෙන් බැහැර වුනොත් ඔවුන්ට හදිසි හෘදයාබාධ ( cardiac arrest ) තත්වයන් ඇති වෙන්නට පුළුවන්.

හරි! දැන් ඔබ බෙන්ගාල බළලුන් ගැන වැදගත් කරුණු රැසක්ම දන්නවා. ඒ වගේම මේ සුරතල් බළල් විශේෂය ගැන දැනගත්තට පස්සේ, ඔයාට බෙංගාල බළලෙක් ඇති කරන්න ආසාවක් ඇති වෙන්නටත් ඇති. අපි හිතනව මේ සරල නමුත් විස්තරාත්මක පැහැදිලි කිරීම ඔයාට සාමාන්‍ය ගෘහාශ්‍රිත බළලුන් වගේම වෙනත් බළල් විශේෂයක් ඇති කරන්නටත් කැමැත්තක් සහ ආශාවක් ඇති කරන්නට තරම් සමත් වෙන්න ඇතියි කියල.

ඉතින්, මතක ඇතිව ඒ ගැන අදහස් පහළින් කමෙන්ට් කරගෙන යන්නේ. ඒ වගේම ඉදිරියේදී අපි ඔයාලට ගේන්න ඕනේ තවත් මේ වගේ තවත් බළල් විශේෂ මොනවද කියලත් මතක ඇතුව සඳහන් කරන්න. අළුත්ම ලිපියකින් ආයෙත් හමුවෙමු.

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
5 3 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
crossmenu