Sri Lankan Hound - ලාංකික සුනඛ විශේෂය ගැන ඔබ දන්නෙ මොනවද?

June 2, 2024
ලිපි සැක​සු​ම
Primary Item (H2)

අපි විවිධ සුනඛ විශේෂ ගැන කතා කරල තියෙනවා. මේ ලිපි තුලින් විතරක් නෙවෙයි, ඔබ සුරතල් සතුන්ට ආදරේ කරන අයෙක් හැටියටත් විවිධ අවස්තා වල, විවිධ සුනඛ විශේෂ ගැන සැලකිලිමත් වෙලා ඇති. ඒ විශේෂ බොහෝමයක් විදේශීය සම්භවයක් සහිත අභිජනනයන්. ඉතින්, ඔබ දැනගෙන හිටියද ශ්‍රී ලංකාවට ආවේණිකව හඳුනාගෙන තියෙන සුනඛ විශේෂයක් ඉන්නව කියන එක? ඉතින්, අද මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නෙ ශ්‍රී ලාංකික සුනඛ විශේෂයක් වෙන ශ්‍රී ලංකන් හවුන්ඩ් (Sri Lankan Hound) සහ සිංහල හවුන්ඩ් (Sinhala Hound) යන නම් වලින් හදුන්වන සුනඛ විශේෂය ගැනයි. ඔවුන්ගේ ඉතිහාසය, ලක්ෂණ, හැසිරීම සහ ඔවුන්ව රැකබලාගන්නෙ කොහොමද කියන මේ හැමදේම ගැන අද අපි කතා කරමු.

Sri Lankan Hound ඉතිහාසය හා සම්භවය

සිංහල හවුන්ඩ් / ශ්‍රී ලංකන් හවුන්ඩ් හෙවත් දේශීය හවුන්ඩ් ලෙස හඳුන්වන මෙම සුනඛ විශේෂය, ශ්‍රී ලංකාවේ පැරණිතම සුනඛ විශේෂයක් ලෙස සැලකෙනවා. ඔවුන්ගේ සම්භවය පිළිබඳ නිශ්චිත තොරතුරු සොයාගැනීම තරමක් අපහසුයි. නමුත්, ඔවුන්ගේ පැවැත්ම දිවයිනේ ඉතිහාසය හා බැඳී පවතින බවට සාක්ෂි බොහෝය. ඇතැම් පුරාවිද්‍යාත්මක සාධක මගින් සිංහල හවුන්ඩ්ගේ සම්භවය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන බවට සාධක පවතිනවා. ඒ වගේම, දිවයිනට පැමිණි සංක්‍රමණිකයන් සමඟ පැමිණි සුනඛයන්ගෙන් පැවත එන්නන් ලෙස සැලකීමට ද ප්‍රමාණවත් සාධක පවතිනවා.

Sri Lankan Houndගේ ශාරීරික ලක්ෂණ

Sri Lankan Hound යනු මධ්‍යම ප්‍රමාණයේ සුනඛ විශේෂයක්. ඔවුන්ගේ කෙටි, දිලිසෙන ලොම් තට්ටුව බොහෝ විට දක්නට ලැබෙන්නේ කහ හෝ රතු දුඹුරු පැහැයෙන්. නමුත් වෙනත් වර්ණ ලොම් සහිත සුනඛයන්ද නැතුවාම නොවෙයි. උසට වඩා දිගු, ශක්තිමත් සිරුරක් හා ඉදිරියට නැමුණු කන් යුගලක් ඔවුන් සතුයි. තද දුඹුරු පැහැති ඇස් යුගල හා ඉහළට වක් වූ වලිගය ද ශ්‍රී ලංකන් හවුන්ඩ්ගේ රූපයට ආවේණික ලක්ෂණ වශයෙන් හඳුනාගත හැකියි. මෙම සුවිශේෂී ලක්ෂණ ඔවුන්ගේ ශක්තිය, කඩිසර බව සහ දඩයම් කුසලතාව පවත්වාගත හැකි ආකාරයටයි නිර්මාණය වී ඇත්තේ.

Sri Lankan Houndගේ ශරීර පෙනුම දෙස බලන විට ඔවුන් දිවයිනේ දේශගුණය හා පරිසරයට අනුවර්තනය වී ඇති ආකාරය පැහැදිලිව දැකගත හැකියි. ඔවුන්ගේ කෙටි ලොම් තට්ටුව ශ්‍රී ලංකාවේ උණුසුම් දේශගුණයට ඔරොත්තු දීමට උපකාරී වන අතර, ශක්තිමත් සිරුර දඩයම් කටයුතු සඳහා විශේෂයෙන් අනුවර්තනය වී තිබෙනවා. කොහොම වුනත්, ගෘහාශ්‍රිතව හෝ මිනිසුන් අතර ජීවත් වීමත් සමඟ වර්ථමානයේ නම් මේ සුනඛ විශේෂය දඩයම් කිරීමට යොමු වන්නේම නැති තරම්.

ස්වභාවය හා හැසිරීම

ශ්‍රී ලංකන් හවුන්ඩ් යනු බුද්ධිමත්, ක්‍රියාශීලී හා ස්වාධීන සුනඛ විශේෂයක්. මේ නිසා ගෘහාශ්‍රිතව ඇති කිරීමට වඩාත් සුදුසු සුනඛ විශේෂයක් වශයෙන් මොවුන්ව හඳුනාගන්න පුලුවන්. ඉතින් ශ්‍රී ලංකන් හවුන්ඩ්ලාගේ ස්වභාවය හා හැසිරීම සම්භන්ද වැදගත් කරුණු කිහිපයක් දැන් අපි බලමු.

  • ඔවුන් තම පවුලේ සාමාජිකයන්ට දැඩි ලෙස පක්ෂපාතී වන අතර, ආගන්තුකයන් කෙරෙහි සැක සහිත ආකල්පයක් දක්වනවා. මේ නිසා මේ විශේෂය හොඳ මුරකරුවන් විශේෂයක් කියලත් කියන්න පුළුවන්. කොහොම වුනත් ආගන්තුකයන් මොවුන්ගේ හදිසි සපාකෑම් වලින් වලක්වාගැනීමට වගබලා ගැනීම ඔබේ වගකීමක්.
  • ශ්‍රී ලංකන් හවුන්ඩ් ඉතා ක්‍රියාශීලී සුනඛයන් විශේෂයක් වන නිසා ඔවුන්ට ප්‍රමාණවත් ව්‍යායාම අවශ්‍ය වෙනවා. ඒ නිසා නිතරම ඔවුන්ව ආරක්ෂිතව එලිමහනේ තැබීම හෝ නිතර ඔවුන් සමඟ සෙල්ලම් කිරීම අවශ්‍ය වෙනවා.
  • ඒ වගේම ඔවුන් තනියෙන් සිටින්නත් අකමැතියි. ඒ නිසා තවත් සුනඛ මිතුරෙක්, පූස් මිතුරෙක් හෝ නිවසේ සාමාජිකයෙක් සෑම විටම ඔවුන් සමඟ සිටීම ඔවුන් බලාපොරොත්තු වනවා.

Related Article: බව්වන්ට පේන්නේ මොන විදිහටද කියලා දන්නවද?

Sri Lankan Houndගේ සෞඛ්‍ය තත්ත්වය

ශ්‍රී ලංකන් හවුන්ඩ් සුනඛයන් සාමාන්‍යයෙන් ශක්තිමත් සෞඛ්‍ය තත්ත්වයක් පවතින නිරෝගී සුනඛ විශේෂයක් ලෙස හැඳින්විය හැකියි. ඔවුන්ගේ ශරීරය දිවයිනේ දේශගුණය හා පරිසරයට අනුවර්තනය වී ඇති නිසා බොහෝ රෝගාබාධවලට ඔරොත්තු දීමේ හැකියාව ඔවුන් සතුයි.

ප්‍රවණතාවයක් දක්වන රෝග

කෙසේ වෙතත්, සෑම සුනඛ විශේෂයක් මෙන්ම සිංහල හවුන්ඩ් සුනඛයන් ද ඇතැම් සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් දක්වයි. උකුලේ ආබාධ (Hip Dysplasia) සහ සමේ ආසාදන (Skin Infections) යනු ඔවුන් අතර බහුලව දක්නට ලැබෙන රෝගාබාධ දෙකක්. උකුලේ ආබාධය යනු උකුල් සන්ධියේ අස්ථි වර්ධනයේ දුර්වලතාවයක් නිසා ඇතිවන තත්ත්වයක්. මෙය වේදනාව, කොර වීම සහ ඇවිදීමේ අපහසුතා ඇති කළ හැකිය. සමේ ආසාදන බොහෝ විට ඇති වන්නේ අසාත්මිකතා, පරපෝෂිතයන් හෝ බැක්ටීරියා ආසාදන නිසායි.

සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට කළ යුතු දෑ

ඔබේ Sri Lankan Hound සුනඛයා නිරෝගීව තබා ගැනීම සඳහා පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වනවා.

  • නිසි පෝෂණය: ඔබේ සුනඛයාට වයසට සහ ක්‍රියාශීලීත්වයට ගැලපෙන සමබර ආහාර වේලක් ලබා දෙන්න. ඒ සඳහා ප්‍රෝටීන් සහ විටමින් සහිත, කාබෝහයිඩ්‍රේට අවම ආහාර තෝරාගන්න. ඒවගේම, පමණ ඉක්මවා ආහාර ලබාදීමෙන් වැළකීමටත් වගබලාගත යුතුයි. එසේ නැතිනම් ඔවුන් අධික තරබාරුව සහ ඒ ආශ්‍රිත රෝග වලට ගොදුරු වීමේ අවධානමක් පවතිනවා.
  • නිතිපතා ව්‍යායාම: ශ්‍රී ලංකන් හවුන්ඩ්ලා ක්‍රියාශීලී සුනඛයන් බැවින් ඔවුන්ට ප්‍රමාණවත් ව්‍යායාම අවස්ථා සැලසීම අත්‍යවශ්‍ය වනවා. දිනපතා ඇවිදීම, දිවීම හෝ සෙල්ලම් කිරීම ඔවුන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යයට ඉතාමත් වැදගත්.
  • පශු වෛද්‍ය පරීක්ෂණ: අවම වශයෙන් වසරකට වරක්වත් පශු වෛද්‍යවරයෙකු හමුවී සෞඛ්‍ය පරීක්ෂාවන් සිදු කිරීම වැදගත් වනවා. මෙමගින් ඕනෑම සෞඛ්‍ය ගැටලුවක් කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට හැකි වනවා.

මේ ආකාරයට, ඔබේ ශ්‍රී ලංකන් හවුන්ඩ් සුනඛයාට නිසි සැලකිල්ල සහ ආදරය ලබා දීමෙන් ඔවුන් දීර්ඝ හා සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීමට හැකි වේවි. එම නිසා, ඔබ සිංහල හවුන්ඩ් සුනඛයෙක් ඇති කිරීමට බලාපොරොත්තු වනවා නම් හෝ, දැනටමත් ඇති කරනවා නම් මේ කරුණු ගැන අනිවාරයෙන් සැලකිලිමත් වන්න.

Sri Lankan Hound සුනඛයින්ව රැකබලා ගැනීම

ඇත්තෙන්ම, ශ්‍රී ලංකන් හවුන්ඩ් රැකබලා ගැනීම සාපේක්ෂව පහසු කාර්යයක්. ඒ නිසා වෙනත් විදේශීය සුනඛ විශේෂ මෙන් මොවුන් කෙරෙහි දැඩි, විශේෂ අවධානයක් ලබාදීමට අවශ්‍ය වෙන්නේ නැහැ. වෙනත් සුනඛයින්ගේ මෙන්, ඔවුන්ගේ කෙටි ලොම් තට්ටුව නිතර පීරීම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් නිතිපතා (දිනපතා නෙමේ) ස්නානය කිරීම හා කන් පිරිසිදු කිරීම අවශ්‍ය වේ. ඔවුන් ඉතා ක්‍රියාශීලී සුනඛයන් බැවින් දිනපතා ප්‍රමාණවත් ව්‍යායාම ලබා දිය යුතුයි කියන එක නැවතත් මතක් කල යුතුයි.

ඔවුන්ගේ බුද්ධිය වර්ධනය කිරීම සඳහා පුහුණු කිරීම ද අත්‍යවශ්‍ය වනවා. ඒ සඳහා යමක් ඉව කර සොයා ගැනීම, බෝල ඇල්ලීම වගේ සරල ක්‍රීඩා ඔවුන්ට හදුන්වාදෙන්න පුළුවන්. ඇත්තෙන්ම ඔබට එතරම් පරිශ්‍රමයක් නොදරා, ඉතා පහසුවෙන් මොවුන්ව රැකබලාගන්න පුළුවන්.

ඉතින්, දැන් ඔබ දන්නවා සිංහල හවුන්ඩ් සුනඛ විශේෂය ගැන ඔබ නොදැන සිටි හැමදේම. ඉතින් මේ තරම් පහසුවෙන්, වැඩි වෙහෙසක් නොදරා ඇති කරන්නට පුළුවන් වෙනත් සුනඛ විශේෂයක් ඉන්නවද? සිංහල හවුන්ඩ්ලා ගැන ඔබේ අත්දැකීම් කෙබඳුද? මේ ගැන ඔබේ අදහස් අනිවාරයෙන්ම පහතින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනිම වැදගත් ලිපියකින් හමුවෙමු.

ලිපි මූලාශ්‍ර

Sinhala Hound Dog Breed – Characteristics, Facts, Behavior, & More - petpawsdaily.com

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
5 2 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
crossmenu