ඔයාගේ බලු සුරතලාගේ මුඛය පිරිසිදුව තබා ගන්නේ කොහොමද?

September 20, 2023
ලිපි සැක​සු​ම
Primary Item (H2)

ඔයා වැඩට ගිහින් හරි ගමනක් ගිහින් හරි එන වෙලාවක දුවගෙන ඇවිල්ලා ඔයා වටේ දැවටී දැවටී ඉන්න තෙත හොම්බක් තියෙන බලු සුරතලෙක් ඔයාටත් ඉන්නවද? එහෙනම් අද අපි අරන් එන මේ ලිපිය ඔයාට ගොඩක් විශේෂයි. පුංචි දරුවෝ වගේම වැඩිහිටි අය බලු සුරතලාගෙ කෙල වලට විවෘත වෙනකොට අනුගමනය කරන්න ඕන අනිවාර්ය සෞඛ්‍යය පුරුදු ටිකක් අපි අද ඔයාලට කියල දෙන්නම්.

අපිට සාමාන්‍යයෙන් බල්ලන්ගේ මුඛයේ තියෙන සියලුම බැක්ටීරියා ඉවත් කරන්න බැහැ. හැබැයි ඔයාට පුලුවන් ක්‍රියාමාර්ග කිහිපයකින් එයාගේ මුඛ සනීපාරක්ෂාව වැඩි දියුණු කරන්න. අපි දැන් සඳහන් කරන්නේ එවායින් කිහිපයක්.

  • අවම වශයෙන් සතියකට දෙවරක්වත් ඔයාගේ බල්ලාගේ දත් මදින්න.
  • විෂබීජ නසන, පශු වෛද්‍ය නිර්දේශිත දන්තාලේපයක් භාවිතා කරමින් දත් මදවන්න.
  • බල්ලාගේ දන්ත සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා සාදන ලද ආහාර ලබා දෙන්න.
  • පශු වෛද්‍ය මුඛ සෞඛ්‍ය කවුන්සිලයේ මුද්‍රාව සහිත අනුමත දන්ත ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරන්න.

බල්ලන් ඇති කරන බොහෝ අය සාමාන්‍යයෙන් දිනකට එක් වරකදී හෝ අවස්ථා කිහිපයකදී සුරතලාගේ ආදරණීය ලෙවකෑමකින් හෝ මෘදු සපාකෑමකින් තමන්ගේ ඔවුන්ගේ කෙළවලට නිරාවරණය වෙනවා.

“මිනිසකුගේ කටට වඩා බල්ලෙකුගේ මුඛය පිරිසිදුයි” යන ප්‍රකාශය බොහෝ ජනප්‍රිය උන කරුණක්. නමුත් මෙහි විද්‍යාත්මක සත්‍යයක් තියෙනවද? ඇත්ත වශයෙන්ම එහි කිසිදු සත්‍යතාවයක් නෑ. හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සිදුකරන ලද පර්යේෂණයකින් සුනඛයින්ගේ මුඛයේ සිටින බැක්ටීරියා 600 ට සාපේක්ෂව මිනිස් මුඛයේ විවිධ බැක්ටීරියා 615 කට වඩා සිටින බව සොයාගෙන තියෙනවා. මේ සුළු වෙනස නිසා බල්ලන්ගේ කෙළ අපට වඩා පිරිසිදුයි යන මිථ්‍යාව ශක්තිමත් කරන්න පුලුවන් උනත් එය ඒ තරම් සාර්ථක තර්කයක් නෙවෙයි. මේකට හේතුව බල්ලන්ගේ සහ මිනිසුන්ගේ මුඛය විෂබීජ වලින් පිරී ඇති නමුත් මෙම බැක්ටීරියා වර්ග එකිනෙකට සමාන නොවීමයි. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත්, බල්ලෙකුගේ කෙළ මිනිසුන්ගේ කෙල වලට සමාන කරන්න බැහැ. මිනිස්සුන්ගේ සහ බල්ලන්ගේ ශරීර වලට වෙන වෙනම ආවේණික වෙච්ච බැක්ටීරීයා වර්ග තියෙනවා.

බල්ලෙක්ගේ මුඛයේ සහ ඛේටයෙහි ස්වභාවිකවම බොහෝ බැක්ටීරියා අඩංගු වෙනවා. මේවා සත්වයාට ගැටලුවක් නොවුනත්, සමහර අවස්ථාවලදී මේ කෙළ මිනිසුන්ගේ රුධිරය සමඟ මිශ්‍ර උනොත් මිනිසුන්ට බොහෝ අනතුරුදායක වෙන්න පුලුවන්. මෙම බැක්ටීරියා මොනවාද, මිනිසුන්ට ඇති අවදානම් මොනවාද, සුනඛ ඛේටයෙන් ඕනෑම ලෙඩක් සහ තුවාලයක් ආසාදනය උනොත් ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ග මොනවද කියල දැන් අපි බලල ඉමු.

බල්ලන් සෑම විටකම ඔවුන්ගේ දිව පාවිච්චි කරන්නේ සන්නිවේදනය කරන්න, පරිසරය ගවේෂණය කරන්න හෝ තමාවම ලෙවකෑමට කියල ඔයාලා දන්නවා ඇති සහ ඔයාලට පේනවා ඇති. ඒ නිසා බල්ලන් සෑම විටම සෑම දෙයක්ම ලෙවකෑමට පුරුදු වෙලා ඉන්නවා. බොහෝ විට ඔවුන් මිනිස්සුන්ව ලෙවකන්නේ නම් ආදරය සහ පක්ෂපාතීත්වය පෙන්වන්න. සුනඛ කෙළවල බැක්ටීරියා විශාල සංඛ්‍යාවක් අඩංගු වෙනවා. පොදුවේ ගත්තම බල්ලන්ගේ විතරක් නෙමෙයි මිනිස්සු වන අපේ සහ සෑම ජීවියෙකුගේම ශරීරයේ බැක්ටීරියා බිලියන ගණනක් අඩංගු වෙනවා: ඒවා ප්රතිශක්තිකරණ පද්ධතියේ යහපැවැත්ම මෙන්ම ජීර්ණය සහ ආරක්ෂාව සඳහා උදව් වෙනවා. නමුත් බල්ලන්ගේ කෙළ වල අඩංගු බැක්ටීරියා වර්ග ඔවුන්ගේ ප්රතිශක්තිකරණයට වැදගත් සහ ඔවුන්ගේ ශරීරයට හිතකර උනාට මිනිස්සුන්ගේ ශරීරයට මේවා බොහෝ අනතුරුදායක වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

මිනිසුන්ට අනතුරුදායක විය හැකි නමුත් බල්ලන්ගේ මුඛයේ බහුලව දක්නට ලැබෙන බැක්ටීරියාව වෙන්නේ Capnocytophaga canimorsus යන බැක්ටීරියාවයි. බල්ලන්ගේ විතරක් නෙමෙයි, බළලුන්ගේ සහ මිනිසුන්ගේ කෙල වල ස්වභාවිකවම මේ බැක්ටීරියාව නිලීනව තැන්පත් වෙලා තියෙනවා. නමුත් බාහිර සපාකෑමකින් හෝ තුවාලයක් ලෙවකෑමෙන් මිනිසුන්ගේ ශරීරයට ඇතුලු වී රුධිරයට ඇතුල් උනොත් මිනිසුන් තුළ දරුණු ආසාදන ඇති කරන්න තරම් මේ බැක්ටීරීයාව ප්‍රබල වෙනවා. මෙම බැක්ටීරියාව බල්ලන්ගේ ශරීරයේ ස්වභාවිකව පවතින නිසා එය ඔවුන්ට අනතුරුදායක නැහැ. හැබැයි මිනිසාගේ ශරීරයට ඇතුලු උනොත් අන්තරාදායක රෝග ඇතිකිරීමට සමත් වෙනවා.

සුනඛයන් තුළ Porphyromonas gulae නමින් හැඳින්වෙන තවත් බැක්ටීරියා වර්ගයක් තිබෙන බවට පර්යේෂකයන් සොයාගෙන තියෙනවා. මිනිස්සුන්ගේ ශරීරයේත් ඒ හා සමාන Porphyromonas gingivalis නම් බැක්ටීරියාවෙහි වෙනස් ප්‍රභේදයක් තියෙනවා. නමුත් ඒ ප්‍රභේදය මිනිසුන්ට හානිකර නැහැ.

බලු සුරතලාගේ එක් හාදුවකින් වැළඳිය හැකි අවදානම් සහගත රෝග මොනවාද?

මිනිසුන් විදිහට අපගේ සම බොහෝ වෛරස්, බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව ස්වාභාවික බාධකයක් සාදමින් ආසාදනවලින් අපව ආරක්ෂා කරනවා. කොහොම උනත් තුවාලයක් ඇති උනාට පස්සේ, ඒ හරහා බැක්ටීරියා අපගේ රුධිරයට ඇතුළු වෙලා අපේ ශරීරය පුරා පැතිර යනවා. ඒ කියන්නේ බල්ලන් හැපුවොත් ඇති වන තුවාල සහ සීරීම් වලින් හෝ අපේ ඇඟේ තුවාලයක් උනොත් ඔවුන්ගේ ලෙවකෑමෙන් පවා අපිට ලෙඩ රෝග සම්ප්‍රේෂණය වෙන්න පුලුවන්.

සුනඛයෙකුගේ මුඛයේ බහුලව දක්නට ලැබෙන්නේ Pasteurella canis බැක්ටීරියාවයි. ඒ වගේම කලින් අපි කිව්වා වගේ, Capnocytophaga canimorus බැක්ටීරියාව සපාකෑමක් හරහා මිනිස් ශරීරයට සම්ප්රේෂණය වෙන්න පුලුවන්. ඒ තත්වය මිනිසුන්ට දරුණු බැක්ටීරියා ආසාදනයක් ඇති කරන්න පුලුවන්. භයානකම තත්වය වෙන්නේ බල්ලන්ගේ කෙල හරහා ජලභීතිකා වෛරසය සම්ප්‍රේෂණය වීමයි. අනෙක් අතට, බල්ලන් සැල්මොනෙල්ලා සහ E. coli වලින් දූෂිත ආහාර අනුභව කර තිබුනොත්, බල්ලාගේ කෙල ඔයාගේ කෙලත් එක්ක මිශ්‍ර වීමෙන් මෙම රෝග කාරක ඔයාගේ ශරීරයට සම්ප්‍රේෂණය වෙන්න පුලුවන්.

සුනඛ කෙළ මගින් ඇතිවිය හැකි ලෙඩ රෝග සඳහා අවදානම් කණ්ඩායම්

  • ප්‍රතිශක්තිකරණය අඩු අය: දුර්වල වූ කෙනෙකුට බාහිර ප්‍රහාර වලින් ස්වභාවිකව ආරක්ෂා වීමට හැකියාව අඩුයි. ඒ නිසා ලෙඩ රෝග වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් තියෙනවා.
  • අවුරුදු පහට අඩු දරුවන් හෝ 65 ට වැඩි වැඩිහිටියන්: මෙම පුද්ගලයින් කණ්ඩායම් ආසාදනවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතිනවා.
  • තුවාල වීම් හෝ තුවාල තිබීම: තුවාල බැක්ටීරියා වලට  විවෘත උන දොරක් වගේ. හරි ඉක්මනින් තුවාල හරහා බැක්ටීරීයා වලට රුධිරයට ඇතුල් වීමේ  හැකියාවක් පවතිනවා.

ඔබට ආසාදනයක් ඇති වී ඇති බවට සැක කරන්නේ නම් කළ යුතු දේ

සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්ට නම් සුනඛයාගේ කෙළ හරහා භයානක බැක්ටීරියා ආසාදනය වීමේ අවදානම තරමක් අඩුයි. කොහොම උනත් ඔයාව බල්ලෙක් තදින් සපා කෑවොත් හෝ තුවාලයක් මත ලෙවකෑවොත්, වහාම තුවාලය ගලා යන පිරිසිදු ජලය සහ සබන් යොදා සෝදා හොඳින් විෂබීජහරණය කරන්න. ඊටපස්සේ, තුවාලය කෙතරම් කුඩා උනත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. මෙය එන්නත්කරණය සිදු නොකළ සුනඛයෙක් නම් ඔබට ජලභීතිකාව ආසාදනය වීමේ අවදානමද පවතී.

ඕනෑම ආකාරයක ආසාදනයක් වළක්වා ගැනීමට නම්, ඔයා බල්ලා ස්පර්ශ කිරීමෙන් පස්සේ අත් හොඳින් සෝගදන්න ඕනේ, ඔහු ලෙවකන ඔබේ ශරීරයේ කොටස් (අත්, කකුල්, මුහුණ) ද සෝදා ගන්න. තමන්ගේ සුරතලාගේ ස්පර්ශයකින් පසු කුඩා දරුවන්, දුර්වල පුද්ගලයන්, මහලු පුද්ගලයින් සහ ආහාර ස්පර්ශ කිරීමෙන් වළකින්න. ඔයාගේ බල්ලාට ඔයාගේ මුහුණ හෝ හානියට පත් සම ලෙවකන්න ඉඩ නම් දෙන්නම එපා. හොදින් පරිස්සම් උනොත් කිසිම ආසාද්මිකතාවයකින් තොරව පුර්ණ සෞඛ්‍යයෙන් යුතුව ඔයාට ඔයාගේ බලු සුරතලත් එක්ක සතුටින් කාලය ගත කරන්න පුලුවන්. එහෙනම් තවත් ලිපියකින් නැවත හමුවෙමු

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
crossmenu