ඔබේ බලු පැටියා ආහාර ගන්නෙ නැත්තෙ ඇයි? 

April 29, 2024
ලිපි සැක​සු​ම
Primary Item (H2)

ඔබේ බලු පැටියට අලුත් අත්දැකීම් එකතු කරගැනීම වෙනුවෙන් වගේම එයා ජීවත් වෙන වටපිටාව පිළිබඳ ගවේෂණ සඳහා විශාල ශක්තියක් අවශ්‍ය වනවා. ඉතින් ඒ නිසාම වැඩුනු සතෙකුට සාපේක්ෂව බලු පැටවකුව දිනකට කිහිප වතාවක් පෝෂණය කිරීම වැදගත් වෙනවා. ඒක ඇත්ත වශයෙන්ම කුඩා දරුවෙකුව නිතර නිතර පෝෂණය කරන්නට වෙනවා වගේ වැඩක්.

නමුත් ඔබේ බව් බබා ආහාර නොගන්නේ නම් ඔබ මොකද කරන්නෙ? ඇයි බලු පැටවුන් ඒ විඳියට ආහාර මඟ හරින්නේ? යම් කිසි බරපතල හේතුවක් තියෙන්න පුලුවන්ද? එහෙම නැතිනම් කොහොමද ඔවුන්ව ආහාරයට පොළවන්නේ? අපි බලමු! සරලව, සහ පියවරෙන් පියවර.

ඔබේ බලු පැටියා ආහාර නොගැනීමට හේතු

විවිධ හේතූන් නිසා ඔබේ බලු පැටියාගේ ආහාර රුචිය නැති විය හැකියි. ඒ හේතුන් ඔබට පහසුවෙන් හඳුනාගත හැකිනම් ඒ වෙනුවෙන් වඩා සාර්ථක පිළියම් ඉක්මනින් යෙදීමට ඔබට හැකියි. ඇත්තෙන්ම මේ බොහෝමයක් බොහොම සරල හේතූන්. මේ සමහර හේතූන් වලට ඔබට නිවසේදීම පහසුවෙන් පිළියම් කළ හැකි අතර අනෙක් ඒවාට පශු වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙනවා.

01. වෙහෙස

බලු පැටවුන් නිතරම, හදිසියේ නින්දට වැටෙනවා. ඔවුන් වැටෙන වැටෙන තැන නිදාගන්නව ඔබ ඕනෑ තරම් දැකල ඇති. ඇත්තෙන්ම ඔවුන්ට සමහර විට ආහාර ගැනීමට සූදානම් වීමට වඩා ඒ නින්ද වැදගත් වෙන්නට පුළුවන්. ඉතින් එයාල හොද නින්දක් / විවේකයක් ලබා ගැනීමෙන් පස්සේ ආයෙත් කෑම සඳහා රුචිකත්වයක් දක්වන්න පුළුවන්. වෙහෙස නිසාද එයාලා කෑම මග හරිනවා.

02. අවධානය වෙනතකට යොමු වී තිබීම

නිවසේ party එකක් තියෙනවනම්, එහෙමත් නැත්නම් නිවසට අමුත්තෙක් හෝ අමුත්තන් පිරිසක් ඇවිත් ඉන්නවනම්, ඒ වගේම තවත් අළුත් සුරතලෙකු නිවසට ඇවිත් ඉන්නවනම් වගේ අවස්තා වලදි ඔබේ බලු පැටියාට ආහාර ගැනීමට අමතක වෙන්න පුළුවන්. ඒක බොහොම සමාන්‍යයි. බොහෝ විට ඒ දේ මිනිසුන් වන අපටත් පොදුයි. ඉතින්, නැවතත් දේවල් සමථයකට පත් වූ පසු ඔබේ බලු පැටවා කෑමට සූදානම් වෙන්නට පුළුවන්.

03. ආතතිය

මෑතකදී ඔබේ බලු පැටියා ජීවත් වෙන පරිසරයේ යමක් වෙනස් වෙලා තියෙනවද? උදාහරණයක් ලෙස, ඔබ නව නිවසකට මාරු වී තියෙන්න පුළුවන්, සුරතල් සතෙකු හෝ වෙනත් පුදගලයෙකු නිවසේ පදිංචියට ඇවිත් තියෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔබේ නිවසේ වෙනදට පැවති ගෘහ භාන්ඩ සැලැස්ම හෝ නිවාස සැලැස්ම වෙනස් වී තියෙන්න පුළුවන්. එම හේතූන් නිසාද ඔබගේ බව් බබාගේ චර්යාමය වෙනස්කම් මතු වෙන්න ඉඩ තියෙනවා. එය ඔබේ බලු පැටියා අලුත් පරිසරයට හෝ අලුත් සබඳතා වලට හැඩගැසීමේ අවධියක් වෙන්නට පුළුවන්. නමුත් ඔබේ සුරතලාට ආහාර දෙන වේලාවන් වල ඒ පරිසරය හැකිතාක් සන්සුන් ව තබාගන්න වග බලා ගන්න. ඒ වගේම ඔබේ බලු පැටියාගේ ආහාර බඳුන වෙනත් සුරතල් සතුන් පෝෂණය කරන ස්ථානවලින් ඈත් කර තබන්නත් වග බලාගන්න.

හැබැයි අපි එහෙම කිව්වට සමහර බලු පැටවුන්ට නම් ලෝකය අවසන් වුනත් ආහාර මඟ හරින්න බැරි වෙන්න පුළුවන්. මොකද සමහරක් පැටවුන් අවට සිදුවන දේට වඩා සංවේදී උනත් තවත් සමහර බව් බබාලා ආහාර වලට ඊට වඩා සංවේදී වෙන්න පුළුවන්.

04. එන්නත්

මිනිසුන්ට මෙන්ම සුරතල් සතුන්ටත් එන්නත් ලබාදීමෙන් පසුව යම් අපහසුතාවයන් හෝ සංකූලතා ඇතිවෙන්නට පුළුවන්. සමහරක් අවස්තාවන් වලදී එන්නත් වලින් පසුව බලු පැටවුන්ට තෙහෙට්ටුව සහ ආහාර රුචිය අඩුවීම දකින්නට පුළුවන්. ඒ ගැන ඉතින් දැඩිව වෙන්න දෙයක් නෑ. නමුත් ආහාර අරුචිය ඇතුළු මේ ඕනෑම ලක්ෂණයක් එන්නත් කිරීමෙන් පසුද, ඒ කියන්නේ දිනකටත් වඩා තියෙනව නම් අනිවාර්යෙන්ම පශු වෛද්‍යවරයෙකු හමුවීමයි වඩාත්ම සුදුසු.

05. හුරුවූ ආහාර නොමැති වීම

බොහෝමයක් සුරතල් සතුන් ඇතිකරන්නන් හිතාගෙන සිටින වැරදි මතයක් තමයි සමහර බලු පැටවුන් සමහර ආහාර නොගන්නේ, ඒවාට කැමති නැති නිසයි කියන කාරණය. ඒත් ඇත්ත ඒක නෙවෙයි. බොහෝ නිරෝගී බලු පැටවුන්ට හොඳ ආහාර රුචියක් තියෙනවා. නමුත් මුල සිටම ඔබ ඔවුන්ව යම් ආහාර රටාවකට හුරු කළ පසු ඔවුන් එයින් බැහැර වෙනත් ආහාර වලට රුචියක් නොදක්වන්නට පුළුවන්. උදාහරණයක් ලෙස ඔබ කුඩා අවධියේ සිට ඔවුන් වෙනුවෙන්ම නිශ්පාදනය කර ඇති සුනඛ ආහාර වර්ග ලබා දී පසුව කුමන හෝ හේතුවක් නිසා ඔබ ආහාරයට ගන්නා ගන්නා සුනඛයන්ට සුදුසු මිනිස් ආහාර ලබා දුන් විට ඔවුන් එය ආහාරයට නොගන්නට පුළුවන්. එමෙන්ම ඔබ මෙය ප්‍රතිවිරුද්ධ ආකාරයට කර තියෙන්නටත් පුළුවන්. ඒ කියන්නේ කුඩා කළ සිට මිනිස් ආහාර ලබා දී පසුව සුනඛ ආහාර ලබා දී තිබෙන්නට පුළුවන්. එවිටත් ඔවුන් සුනඛ ආහාර ප්‍රතික්ශේප කරන්න පුළුවන්.

ඔයාලා දන්නවනේ අපි අතරත් ඉන්නවනේ තුන් වේලටම බත් නොකෑවොත් නින්ද නොයන අය (මේ අපි තුන් වේලට බත් කන අය විවේචනය කරනවනම් නෙමේ ඔන්න). ඉති ඒ වගේම තමා අපේ බව් බබාලත්.

ඔබ ඔවුන්ට එදිනදා අපි ආහාරයට ගන්නා සුනඛයන්ට සුදුසු ආහාර පරිභෝජනයට දුන්නත්, සුනඛයන් සඳහාම නිෂ්පාදිත ආහාර දුන්නත් දෙන ආහාර වේල සමබර ලෙස ලබා දෙන්න මතකයේ තබා ගන්න. ඒ වගේම සමහර සුනඛ වර්ගයන් (dog breeds) සඳහා වෙනමම නිර්දේශිත ආහාර තියෙනවා. ඉතින් කෝකටත් හොදයි ඒ සඳහා පළපුරුදු පශු වෛද්‍යවරයෙකුගේ සේවාව ලබා ගැනීම.

06. බොහෝමක් අතුරු ආහාර ලබාදීම

බලු පැටවුන්ව ක්‍රියාශීලීව තැබීමටත්, ඔවුන්ට හොඳ පුරුදු ඉගැන්වීමටත් යම් කිසි පුහුණු ක්‍රම ඔබට භාවිතා කරන්නම වෙනවා. එවැනි ක්‍රම භාවිතය එතරම් පහසු කරුණක් වෙන්නෙත් නැහැ. ඒ නිසාම ඒ වෙනුවෙන් ඔවුන්ට ත්‍යාග වශයෙන් යමක් දෙන්නට අවශ්‍යයි. බොහෝ විට ඒක එයාලටම හදපු පොඩි බිස්කට් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. අපි කියන්නේ treats කියලා. ඉතින් මේ වගේ treats හෝ නැත්නම් ඔයා දෙන ඕනෙම කඩචෝරුවක් (එයාලට සුදුසු) පමනට වඩා දීම නිසාද එයාල ප්‍රධාන ආහාර වේල් මග හරින්න ඉඩ තියෙනවා. ඉතින් ඔබට කල හැකි හොඳම දේ නම්, ඒ වරින් වර ලබාදෙන ආහාර වලදීත් පෝෂණීය ආහාර, විශේෂයෙන්ම බලු පැටවුන් සඳහා වන කෑම ලබා දීමයි. එහෙමත් නැත්නම් ප්‍රධාන ආහාර වේල් අතර තුරු සුළු වශයෙන් පමනයක් treats ලබාදීමයි. ආදරේ වැඩී කියලා වැඩියෙන් treats දෙන්න යන එක නම් එච්චර හොද වැඩක් නෙමේ.

07. අසනීප

ආහාර රුචිය සම්පූර්ණයෙන්ම නැතිවීම යනු ඔබේ බලු පැටියා අසනීප වී ඇති බවට ඉඟියක් වෙන්න පුළුවන් විශේෂයෙන් ඔබේ සුරතලා උදාසීන හෝ නිහඬ හැසිරීමක් පෙන්නුම් කරනවා නම් නම් ඇත්තෙන්ම යම්කිසි දුර්වල සෞඛ්‍ය තත්වයක ඉන්නවා වෙන්න පුළුවන්. ගැටලුව සාමාන්‍ය වෛරසයක සිට ආහාර නොවන දෙයක් අනුභව කිරීම දක්වා ඕනෑම දෙයක් විය හැකිය. ඉතින් මෙවැනි අවස්ථාවක ඔබට කල හැකි හොඳම දේ වෙන්නෙ, හැකි ඉක්මනින් ළඟම සිටින පශු වෛද්‍යවරයාව හමුවීමයි.

Related articles: ඔබේ බලු සුරතලාට කිසිදා ලබා නොදිය යුතු භයානක ආහාර වර්ග 25 ක්

බලු පැටවුන්ට කන්නේ නැතිව කොපමණ කාලයක් ඉන්න පුළුවන්ද?

බලු පැටවුන්ට නිතිපතා පෝෂණය අත්‍යාවශයි. කලින් සඳහන් කලා වගේ නිතරම ඔවුන්ට ආහාරයට යමක් ලබාදීමට අවශ්‍යයි. මොකද ඔවුන්ගේ වැඩෙන ශරීරයට පෝෂ්‍ය පදාර්ථ ගොඩක් අවශ්‍යයි. එබැවින් ඔබේ බලු පැටියා ඔහුගේ සාමාන්‍ය ජීවිතය ගත කරන නමුත්, දිනක් සම්පූර්ණයෙන් ආහාර ගෙන නොමැති නම්, ජලය පවා ප්‍රතික්ෂේප කරනවා නම් වහාම ඔබේ පශු වෛද්‍යවරයා අමතන්න.

ඔබේ බලු පැටියා සම්පූර්ණයෙන්ම අඩපන වි හෝ වමනය හෝ පාචනය ඇති වුවහොත්, වහාම ඔබේ පශු වෛද්‍යවරයා හමුවීම වඩාත් සුදුසුය. පාචනය සහ වමනය බලු පැටියෙකු ඉක්මනින් විජලනය කළ හැකි අතරම යම් කිසි බරපතල රෝගී තත්වයක ලක්ෂන වෙන්නත් පුළුවන්.

බලු පැටවකුව නැවත ආහාර සඳහා හුරු කරන්නේ කොහොමද?

ඔබේ බලු පැටියාට වෙනත් රෝග ලක්ෂණ ඇත්නම් හෝ මුළු දවසම ආහාර ගැනීම මග හැරී ඇත්නම්, කලින් සඳහන් කලා වගේම පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න අමතක කරන්න එපා. එසේ නොමැතිනම්, එතරම් නිශ්චිත හේතුවක් නොමැතිනම් ඔබේ බලු පැටියා ඔහුගේ ඊළඟ ආහාර වේල අනුභව කිරීමට දිරිගැන්වීම සඳහා ඔබට නිවසේදී කළ හැකි දේවල් කිහිපයක්ම තියෙනවා.

  • ඔබේ බලු පැටියා නිරෝගී නම්, හොඳම දෙය නම් ඔහු සූදානම් වූ විට ඔහුට කෑමට ඉඩ දීමයි.
  • ආහාර වේලාව විනෝදජනක කරන ප්‍රහේලිකාවක් හෝ යම් කිසි ක්‍රීඩාවක් භාවිතා කරන්න.
  • ආහාර ගැනීමට කාලය පැමිණි විට දැඩි ආහාර රුචිය ඇති කිරීම සඳහා ඔබේ බලු පැටියාට සංග්‍රහ ලබාදීම සීමා කරන්න.
  • ආහාර වේල ලබාදෙන අවස්ථාවේදී ඔවුන් සන්සුන්ව සහ සැහැල්ලුවෙන් සිටිය යුතුය. ඉතින් ඒ නිසා ඔවුන් කලබලයට පත්වන අවස්තා මග හරින්න.
  • ඔබේ බලු පැටියා කෑමට පොළඹවන තවත් රහසක් තමයි තෙත් සහ වියළි බලු ආහාර මිශ්‍ර කිරීම. එය බලු පැටවුන්ට ආහාරය පහසු කරන උපක්‍රමයක්.

බලු පැටියෙකු දිනකට කී වතාවක් ආහාර ගත යුතුද?

මිනිස් ළදරුවන්ට මෙන්, බලු පැටවුන්ට දිනකට කුඩා ආහාර කිහිපයක් අනුභව කළ යුතුයි. ඔබේ බලු පැටියා වැඩෙන විට, ඔබට අඩු වාර ගණනක් විශාල ප්‍රමාණවලින් පෝෂණය කළ හැකිය. ඔබෙ බලු පැටවාගේ වර්ගය අනුව ගැලපෙන ආහාර ලබාදීමේ රටාවක් ඔබේ පශු වෛද්‍ය වරයාගෙන් ලබාගන්න පුළුවන්. ඒ උනත්, ඔබට මේ පහත සඳහන් පොදු මාර්ගෝපදේශයන් අනුගමනය කරන්නත් පුළුවන්. නමුත් පශු වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නිතර මතක තබා ගන්න.

ඉතින් මේ සරල නමුත් විස්තරාත්මක පැහැදිලි කිරීම බලු පැටවුන්ගේ ආහාර රටාව ගැන වඩා හොඳ අවභෝධයක් ලබාදෙන්නට ඇතැයි කියල අපි විශ්වාස කරනවා. ඉදිරියේදිත් මේ වගේම ලිපි රැසක් ගේන්න අපි බලාපොරොත්තු වෙනව. ඉතින් මේ ගැනත්, සුරතල් සතුන් ඇති කිරීම සම්භන්ධව ඔබට දැනගැනීමට අවශ්‍ය වෙනත් දේවල් මොනවාද කියන කාරණය ගැනත් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
5 6 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
crossmenu