ඔබේ සුරතල් බළලාව තරබාරු කරන්න එපා!

May 22, 2024
ලිපි සැක​සු​ම
Primary Item (H2)

ඔබ ඔබේ සුරතල් බළලාව කොච්චර ආදරෙන් බලාගන්නවද? ඒත් ඒ ආදරේ නිසාම ඔබ නොදැනුවත්වම එයාලව තරබාරු කරනවා වෙන්න පුළුවන්. ඔව්, බළල්ලුත් අපි වගේම තරබාරු වෙන්න පුළුවන්. ඒක එයාලගෙ සෞඛ්‍යයට එතරම්ම හොඳ දෙයකුත් නෙවෙයි. ඉතින් අපි මේ ලිපියෙන් බලමු බළලුන් තරබාරු වෙන්නෙ ඇයි, සහ ඒකෙන් එයාලට මොනවගේ අවදානම් තියෙනවද කියලා. ඒ විතරක් නෙවෙයි, ඔබේ ආදරණීය බළල් මිතුරා නිරෝගීව තියාගන්න ඔබට කරන්න පුළුවන් දේවලුත් අපි කතා කරමු.

බළලුන් තරබාරු වීම කියන්නෙ මොකක්ද?

විවිධ බළලුන් විවිධ ශරීර ප්‍රමාණ වලින් යුක්ත වෙනවා. ඕනෑම වර්ගයේ බළලෙකුගේ බර එම වර්ගයේ බළලෙකුට අදාල සාමාන්‍ය බරට වඩා 10%-20% අතර ප්‍රමාණයකින් වැඩි නම්, ඔවුන් අධි බරැති බළලුන් ලෙස සලකනවා. ඒ වගේම බර 20% ට වඩා වැඩි නම් තරබාරු ලෙස සලකනවා. දියුණු රටවල බළලුන්ගෙන් 63% ක්ම මේ තරබාරු ගැටලුවෙන් පීඩා විඳිනවා වුනත් ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිත බළලුන්ගෙන් නම් තරබාරුවට මුහුන දී ඇත්තේ බොහොම සුළු ප්‍රතිශතයක්.

අධික බර ඔබේ සුරතලාට බොහෝ සෞඛ්‍ය ගැටලු ඇති කරන්න පුළුවන්. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම, හෝමෝන ආශ්‍රිත රෝග, හෘද රෝග සහ ආතරයිටිස් (සන්ධි ඉදිමීම) වැනි රෝග ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අවුරුදු 8-12 අතර වයසේ, වන්ධ්‍යාකරණය කළ, ගෙදරම හුරතලේට ඇති කරන බළලුන් තරබාරු වෙන්න වැඩි අවදානමක් තියෙනවා. ඒ නිසා නිසි ආහාර පාලනයක් සහ ක්‍රමවත් ආහාර රටාවක් ඔවුන්ගේ බර පාලනය කිරීමට ඉතාම වැදගත්.

ඔබේ බළලා තරබාරුද කියලා හඳුනා ගන්නේ කොහොමද?

බැලූ බැල්මට බර වැඩි වෙලා කියලා පෙනුනත්, ඔබේ බළලා තරබාරු වෙලාද කියලා දැනගන්න නම් සලකා බලන්න අවශ්‍ය තවත් ලක්ෂණ කීපයක් තියෙනවා.

  1. පැනීමේ හෝ උස තැන් වලට නැගීමේ අපහසුව: සාමාන්‍යයෙන් ඔබේ බළලා තරබාරුයි නම් එයාට එතරම් උසක් නැති සෝෆා එකක් උඩට පවා නැගීමට අපහසු වෙනවා. එසේ අපහසුතාවක් පෙන්වීම තරබාරු වීමේ ලක්ෂණයක්.
  2. නිතර වාඩි වී හෝ වැතිර සිටීම: ඔබේ සුරතලා, වෙනත් බළලුන් මෙන් සෙල්ලම් කරන්න වැඩි කැමැත්තක් නොදක්වන, නිතරම වැතිර ඉන්න බළලෙක් නම් ඒකත් හොඳ සලකුණක් නෙවෙයි. ඒ තරබාරු කම නිසා හෝ, වෙනයම් රෝගයක් නිසාත් වෙන්නට පුළුවන්.
  3. ඉනෙහි දළ සටහන නොපෙනීම: බළලාගේ ඉන පැත්ත බැලුවම ඉනෙහි දළ සටහනක්, ඒ කියන්නෙ මාංශ පේෂී සහ අස්ථි හැඩය පෙනෙන්නට ඕනෙ. එහෙම නැතිව පැතලි විදිහට පේනවද? එහෙමනම් ටිකක් පරිස්සම් වෙන්න වෙනවා.
  4. ඉළ ඇට හෝ උකුල් ඇට ස්පර්ශයේදී හසු නොවීම: බළලාගේ ශරීරයේ පැත්ත අතගාලා බලන්න. ඉළ ඇට හෝ උකුල් ඇට අතට දැනෙනවද? සාමාන්‍යයෙන් නම් බළලෙකු අතගාන විට එහෙම දැනෙනවා කියල ඔබ දන්නවා. නමුත් එහෙම නොවෙනවා නම් ඒ ගැන සැලකිලිමත්න් වෙන්න වෙනවා.
  5. උඩ සිට බලන විට පැතලි පිටක් හෝ සෘජුකෝණාස්‍රාකාර හැඩයක්: බළලා දෙස ඉහළින් බලද්දි හරියටම සෘජුකෝණාස්‍රයක් වගේ පේනව නම්, කිසිදු හැඩයක් නැතිනම් ඒ කියන්නෙ එයාගේ ශරීරයේ මේදය හොඳින් තැන්පත් වෙලා කියන එකයි.
  6. අපිරිසිදු හා අවුල් සහගත ලොම්: බළලාට හරියට ලොම් පිරිසිදු කරගන්න බැරුව අපිරිසිදු වෙලාද? එහෙම වෙන්නෙත් තරබාරු නිසා වෙන්න පුළුවන්. නමුත්, ඒ සඳහා එයා වෙනත් ශරිර අපහසුතාවයක සිටීමත් බලපානවා වෙන්න පුළුවන්.
  7. කරපටිය තද වෙමින් පැවතීම: ඔබේ සුරතලාගේ කරපටිය නිතරම එයාට හිරයි වගේ දැනිලා, නිතරම ඔබට එයාගේ කරපටිය ලිහිල් කරන්න වෙනවද? වයසින් වැඩීම නිසා හිරවීම හැර, වැඩුනු සුරතලෙකුගේ එහෙම වෙනව නම් ඒ තරබාරු කමේ ලක්ෂණයක්ම තමයි.
  8. අඩු මළපහ පිටවීම සහ/හෝ වැඩිපුර වායු පිටවීම: ඔබේ සුරතලාගේ මළපහ පිටවීම වෙනදාට සාපේක්ෂව අඩු වෙලාද? මළපහ අඩුවෙන් පිට වුවත් වාතය වැඩිපුර පිට කරනවද? ඒකත් තරබාරුකම නිසා වෙන්න පුළුවන්. නමුත් මේ දේත් වෙනත් ආමාශගත රෝගයකට සම්භන්ධයි වෙන්නත් පුළුවන්.

ඉතින් ඔයාට මේ ලක්ශණ ඔයාගේ සුරතලාගෙන් දකින්න ලැබෙනවනම් හොදම දේ තමා පශු වෛද්‍යවරයෙක් මුණ ගැසීමට ඔබගේ බළල් මිත්‍රයාව එක්කගෙන යෑම.

බළලුන් තරබාරු වීමට බලපාන හේතු

බළලුන් තරබාරු වෙන්නට බලපාන හේතු වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි බළලාගේ (තනි) සත්ව විශේෂිත හේතු. අනික තමයි කෑම බීමට අදාළ හේතු. අපි බලමු මේ වර්ග දෙකටම අදාලව වෙන වෙනම ඇති විවිධ හේතු මොනවද කියලා.

බළලාගේ (තනි) සත්ව විශේෂිත හේතු

  • වයස: අවුරුදු 8-12 වයසේ මැදි වයසේ බළල්ලු තරුණ හෝ වයසක බළල්ලුන්ට වඩා තරබාරු වෙන්න ඉඩ වැඩියි. මොකද ඔවුන්ට හොඳින් ආහාර ගන්නත් පුළුවන් වගෙම, ඒ හා සාපෙක්ෂව ක්‍රියාශීලී වෙන්නෙත් නෑ.
  • වන්ද්‍යකරනයට ලක්කර තිබීම: පිරිමි හෝ ගැහැණු, වන්ද්‍යකරණයට ලක් කළ බළලුන්ට බොහෝ විට වැඩි ආහාර රුචියක් තියෙනවා.
  • පරිසරය: නිතරම ගෙදර ඉන්න, එහෙමත් නැත්නම් එළියට යන්න බැරි බළල්ලු තරබාරු වෙන්න ලේසියි. ඒ එයාලගේ ක්‍රියාශීලී බව අඩු නිසා. ක්‍රියාශීලී නොවීම නිසා එයාලගෙ කැලරි දහනය අඩු වෙනවා. එය සෘජුවම තරබාරුවට බලපානවා.
  • ලෙඩ රෝග: සන්ධි රුදාව, ආතරයිටිස් වගේ ලෙඩ නිසා බළලාගේ ක්‍රියාශීලීත්වය අඩු වෙලා, බර වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් උදරාශ්‍රිත රෝගයක් නිසාත් ඔවුන් තරබාරු වෙලා වගේ පේන්නට පුළුවන්.

කෑම බීමට අදාළ හේතු

  • කෑම වර්ග: දියරමය හෝ සකස් කරන ලද (පිසින ලද ) ආහාර වලට වඩා වියළි ආහාර (dry cat food) වැඩියෙන් ලබාදීම මඟින් බර වැඩි වෙන්න ඉඩ තියෙනවා.
  • අසීමිතව කෑම ලබාදීම: නියමිත ප්‍රමාණයක් මනින්නේ නැතුව කෑම ලබාදීමත් ඔබ කරන වැරද්දක්. බොහෝ විට සමහර බළලුන්ට පමණට වඩා ආහාර ගන්න පුළුවන්.
  • වැරදි විදියට කෑම දීම: දවසට එක පාරක් හෝ දෙපාරක් විතරක් විශාල ආහාර වේලක් දෙන එකෙන් බළලා තරබාරු වෙන්න පුළුවන්. ඒ වගේම එයා නිතරම කෑම ඉල්ලන්න පුළුවන්.
  • ඕනෑවට වඩා කෙටි ආහාර: කෙටි ආහාර කියන්නේ බළලාගේ සාමාන්‍ය ආහාර වේලට වඩා මේදය හා කැලරි වැඩි කෑම වර්ග දිම. මේ වගේ ආහාර නිසා, බළලාගේ මුළු කැලරි ප්‍රමාණය වැඩි වෙලා එයා තරබාරු වෙන්න පුළුවන්.

Related article: ඔබේ කෙට්ටු බළල් සුරතලාව මහත් කරන්න මෙන්න මේ දේවල් කරන්න

ඔබේ සුරතල් බළලාව තරබාරුකමින් මුදවාගන්නේ කොහොමද?

ඔබේ සුරතලා තරබාරු වීම එයාගේ නිරෝගී බවට බාධාවක් කියල අපි කලින් සඳහන් කලා. ඒ වගේම අපි සඳහන් කල හේතු ගණනාවත් එක්ක සම්භන්ද බළලුන්ගේ තරබාරුව බොහෝ විට ඇතිවන්නේ අධික කැලරි ප්‍රමාණයක් ආහාරයට ගැනීම සහ ව්‍යායාම අඩුවීම නිසයි. ඉතින් අපි බලමු, අපි කොහොමද එයාලව තරබාරුකමින් මුදවගන්නෙ කියලා.

මුලින්ම පශු වෛද්‍යවරයාගෙ උපදෙස් ගත හැකිනම් හොඳයි

ඔබේ සුරතලා අධික තරබාරුවට මුහුණ දී හෝ මුහුණ දෙමින් ඉන්නව නම්, ඔබට ඔබේ ආසන්නතම පශු වෛද්‍යවරයා වෙත එයාව ගෙන යන්නට හැකිනම් වඩා හොඳයි. එවිට වෛද්‍යවරයා බළලාගේ සෞඛ්‍ය තත්ත්වය, වයස සහ වර්ගය අනුව ආහාර සැලැස්මක් සකස් කරල දෙනවා. බළලාගේ බර අඩු කිරීම සඳහා, කැලරි ප්‍රමාණය අඩු කළ ආහාර වර්ග ඔහු හඳුන්වා දේවි. මේ ආකාරයට ඔබේ සුරතලාට හුරු ආහාර වර්ග වෙනස් කරන විට, එය ක්‍රමයෙන් සිදු කිරීම අත්‍යවශ්‍යයි. එමගින් ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවිය හැකි ගැටළු වළක්වා ගත හැකියි.

ආහාර පාලනය සහ ව්‍යායාම

තරබාරුකම වලක්වාගන්නත්, අවම කිරීමටත්, ඔවුන්ට ලබාදෙන ආහාර ප්‍රමාණය නිවැරදිව මැන බැලීම ඉතා වැදගත්. කුඩා මෙශරින් කප් එකක් හෝ තරාදියක් භාවිතයෙන් මෙය නිවැරදිව සිදු කළ හැකියි. ඒ වගේම දිනකට කුඩා ආහාර වේල් කිහිපයක් ලබා දීම බළලාගේ බර පාලනයට උපකාරී වෙන්න පුළුවන්. මොකද එවිට ඔවුන්ට නිතර බඩගිනි නොවෙන නිසා වැඩි ආහාර ප්‍රමාණයක් ගැනීමට පෙළඹෙන්නේ නැහැ.

මේ හැම දේම අතරෙ, සෙල්ලම් බඩු භාවිතයෙන් ඔබේ සුරතලාට ව්‍යායාම කිරීමට දිරිගන්වන්න. බළලා ආහාර ලබා ගැනීම සඳහා වැඩි වෙහෙසක් දැරිය යුතු වන පරිදි ප්‍රහේලිකා ආකාරයේ ආහාර භාජන භාවිත කළ හැකියි. එය වඩාත් හොඳ ක්‍රමයක්. එහෙම නැතත් නිවස තුළම සිටින ඔයාගේ බළල් සුරතලා එක්ක ඔයාට සෙල්ලම් කරන්නත් පුළුවන්. එමගින් ඔබ සහ බළලා අතර ඇති සහසම්බන්දතාවය දියුණු වෙනවා වගේම ඔවුන්ටත් අවශ්‍ය ව්‍යායාම ලැබෙනවා.

ඔබේ බළලා නිරන්තරයෙන් නිරීක්ෂණය කරන්න

මොන යම් හෝ බර පාලන ක්‍රමයක් අනුගමනය කරන අතරතුර ඔබේ බළලාගේ ප්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමත් ඉතා වැදගත්. බර කිරන යන්ත්‍රයක් මගින් බළලාගේ බර නිවැරදිව මැන බලන්න ඔබට පුළුවන්. ඔබේ බළලාගේ වර්ගය සහ වයස අනුව තිබිය යුතු බර ගැන පශු වෛද්‍යවරයාගෙන් අදහසක් ගන්න පුළුවන්.

මේ හැමදේම අතරෙ, බළලාගේ තරබාරු බව පාලනය කිරීම කියන්නෙ දිගු කාලීන ක්‍රියාවලියක් බව මතක තබා ගන්න. එක ක්‍රමයෙන් සිදුවන්නක්. ඒ කාලය තුලදී ඔබේ සුරතලා ගැන හොඳින් සැලකිලිමත් වෙන්න. ඉතින්, ඔබේ සුරතලා තරබාරු වීම ගැන ඔබටත් අත්දැකීම් ඇති. ඒ ගැන අදහස් මතක ඇතිව පහලින් ලියන්න. නැවතත් මෙවන්ම වැදගත් ලිපියකින් ආයෙත් හමුවෙමු.

ලිපිය සඳහා මූලාශ්‍රයන්

Obesity in Cats - petmd.com

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
crossmenu