ඔයා දැනගෙන හිටියද ගිනිපි​ග් ගැන මේ රසවත් කරුණු

May 8, 2024
ලිපි සැක​සු​ම
Primary Item (H2)

Hi මගේ නම ගිනිපිග්. මම ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් වැඩිපුර දක්නට නොලැබෙන සුරතල් සතුන් විශේෂයක්. ඒත් දැන් දැන් මාව සුරතලෙක් විදිහට ඇති කිරීමට ගොඩ දෙනෙක් උනන්දුවක් දක්වනවා. ශ්‍රී ලංකාවට තවමත් අලුත් වුණත් ලොව පුරා රටවල් රැසක මම බොහොම ආදරණීය සුරතලෙක් ලෙස ප්‍රසිද්ධයි.

ලංකාවේ ඔයාලා සාමාන්‍යයෙන් ඇති කරන බළලුන්, සුනඛයන් ගැන නම් යම් යම් දේවල් දන්නවනේ. ඒත් ඔයා මාව ඇති කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් උනත් මගේ ගැන දන්න දේවල් බොහොම ටිකයි නේද? ඉතින් අද මේ ලිපියෙන් ඔයාලට පුළුවන් මගේ ගැන ගොඩක් දේවල් දැනගන්න. හැබැයි පරිස්සමෙන්. මේ ලිපිය අන්තිමේදී ඔයාටත් ගිනිපිග් කෙනෙක් ඇති කරන්න ආස හිතෙන්න පුළුවන්. ඉතින් මගේ ගැන විස්තර මම Lasith අයියට ගොඩක් කිව්වා. එයා ඒ ඔක්කොම ලිව්වා කිව්වා. බලන්නකො ඉතින් කියවලා කම්මැලි වෙන්නේ නැතුව.

ගිනිපිග්ලා කියන්නෙ කව්ද?

ගිනිපිග් කියන්නෙ පෙනුමෙන් මීයෙකු සහ හාවෙකු එක් කරමින් සොබාදහම විසින් නිර්මාණය කළ අමුතු සත්වයෙක් කියල සරලවම කියන්නට පුළුවන්. ඔවුන් මීයන්ට සාපේක්ෂව විශාල වන අතර හාවන්ට සාපේක්ෂව කුඩයි. මේ සතුන්ට තියෙන්නේ බොහොම කෙටි කකුල්. ඒ වගේම පිටතට පෙනෙන වලිගයක් නැහැ. ශරීරයේ හැඩය මීයකුගේ මෙන් වන අතර මුහුණ හාවෙකුට සමානයි.
ගිනිපිග්ලා දකුණු ඇමරිකාව පුරා විවිධ පරිසරවල සාර්ථකව ජීවත් වෙනවා. වෙනිසුවේලාවේ සිට පැටගෝනියාව දක්වා විවිධ තණබිම්, වනාන්තර, වියළි කාන්තාර පවා ඔවුන්ගේ නිජබිම් වශයෙන් හදුනාගෙන තියෙනවා. බොහෝ දෙනා ඔවුන්ව දන්නේ සුරතල් සතුන් ලෙස වුණත්, වනාන්තරවල තවමත් විවිධ ගිනිපිග් විශේෂ ජීවත් වෙනවා.

ගිනිපිග්ලාවා සුරතලුන් ලෙස ඇති කිරීමේ ඉතිහාසය

අපි අද ඇති කරන සෑම සුරතල් සතෙකු වගේම ගිනිපිග්ලත් මුලින්ම වන සතුන් හැටියටයි ජීවත් වුනේ. මේ සතුන්ව මුලින්ම සුරතල් සතුන් ලෙස ඇති කිරීමට අදහස් කරල තියෙන්නේ ඇන්ඩීස් කඳු වැටියේ ආශ්‍රිතව ජීවත් වුන ඉන්කාවරුන් විසින්. ඒ ක්‍රි.පු 5000 තරම් ඈත කාලයේදී. ඒ කියන්නෙ ගිනිපිග්ලා සුරතලුන් ලෙස ඇති කිරීමේ ඉතිහාසය වසර 7000කට වඩා පැරණි එකක්.
මේ සතුන් මුලින්ම යුරෝපයට හඳුන්වා දෙන්නේ 16 වන සියවසේ දී යුරෝපා ගවේෂකයන් විසින්. මුල් කාලයේදී ස්වභාවිකවම වැඩුණු ගිනිපිග්ලා සෝතං සතුන් ලෙස භාවිතා කළත් මෑත සියවස් වලදී විශේෂයෙන්ම අභිජනනය කරන ලද ගිනිපිග්ලා වෙළඳපොළට පැමිණෙනවා. අන්න ඒ විදිහටයි නිවසක ඇති කිරීමට වඩා සුදුසු ගිනිපිග් කෙනෙක් ඔබේ අතට ලැබෙන්නේ.

ගිනිපිග් නමේ තේරුම

'ගිනිපිග්' කියන නම ටිකක් සිනහ උපදවනවා නේද? ඌරන් සමඟවත් ගිනියාව සමඟවත් කිසිම සම්බන්ධයක් නැති මේ සතුන්ට ඇයි මේ නම තියෙන්නේ? ඇතමුන් කියන්නේ මොවුන්ගේ කෑගැසීම් ඌරන්ගේ හඬට සමාන නිසා මේ නම යොදන්නට ඇතියි කියලයි.
සමහර අය තර්ක කරන්නේ මේ සතුන් පැපුවා නිව් ගිනියාව නිජබිම කරගෙන බිහිවී ඇති නිසා මේ නම යොදන්නට ඇතියි කියලයි. ඒත් ඒ ප්‍රකාශයේ එතරම් සත්‍යතාවක් නැහැ. ඒ වගේම ඇතැම් අය මත පල කරන්නේ මේ සතුන් මුලින්ම විකිණීමේදී යුරෝපා ජාතිකයන් ඒ සඳහා භාවිතා කල මුදල ‘ ගිනියා එකක්’ වශයෙන් හැඳින්වූ නිසා මේ නම භාවිතා වෙනවා කියලයි.
ඇත්ත වශයෙන්ම ඒ එකකට එකක් හැඳින්වීම් කිසිම විටෙක ඒ සම්පූර්ණ නම විස්තර කරන්නේ නෑ. ඒවා විස්තර කරන්නේ නමේ කොටසක් විතරයි. ඉතින් අදටත් මේ මීයෙකු හා හාවෙකු වශයෙන් දිස්වෙන සතාට ඌරෙකුගේ සහා ගීනියාවේ නමක් ලැබුණ හේතුව නිශ්චිත නෑ.

ශ්‍රී ලංකාවේ සුරතල් සතෙකු ලෙස ගිනිපිග්

අනික සුරතල් සතුන් තරම් ශ්‍රී ලංකාවේ ප්‍රචලිත නොවුණත්, ගිනිපිග්ලට දැන් ජනප්‍රියත්වයක් ලැබෙමින් තියෙනවා. දැන් සුරතල් සතුන් අලෙවිකරණ ස්ථානවල ගිනිපිග්ලා විවිධ විශේෂ දැකගන්න පුළුවන්. ඒ වගේම ඒ සතුන් විවිධ ස්ථානවල විවිධ මිල ගණන්වලට අලෙවි කෙරෙනවා.

කොහොම වුණත් ඔයා ගිනිපිග් කෙනෙක් ඇති කරනවනම් ඒ ගැන ගොඩක් දේවල් දැනගන්න ඕන. මොකද ගිනිපිග් කියන්නෙ සුරතල් සතෙක් වශයෙන්, ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අයට එතරම් හුරු පුරුදු සතෙක් නෙමෙයිනේ.

ගිනිපිග් කෙනෙක් ඇතිකරගන්න හිතනවා නම් මේ කාරණා කීපය මතක තියාගන්න

යුවලක් නම් වඩා හොඳයි

මේ සතුන් මිත්‍රත්වයට ලැදි සුරතල් සතුන් විශේෂයක්. එය නිසා සෑම විටම මොවුන් සමඟ කාලය ගත කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතිනම් ගිනිපිග් කෙනෙක් ඇති කරන්නට ඔයා හිතනව නම් ගිනිපිග් යුවළක් එකවර මිලදී ගන්න අමතර කරන්න එපා. මොකද යුවළක් වශයෙන් ජීවත් වෙද්දී එයාලට තනිකම දැනෙන්නේ නෑ.

ජීවත් වීමට ඉඩකඩ අවශ්‍යයි

මේ සතුන් ප්‍රමාණයෙන් කුඩා වුවත් ඔවුන්ට ජීවත් වෙන්න ලොකු ඉඩකඩක් අවශ්‍ය වෙනවා. එනිසා සෑම විටම ගිනිපිග් කෙනෙක්ට ඔබේ නිවසේ නිදහසේ සැරිසරන්නට සලස්වන්න හෝ ඔවුන්ට විශාල කූඩුවක් තැනීමට ඔබ කටයුතු කරන්න ඕන. ඒත් නිවසේ නිදහසේ සැරිසරන්නට සැලැස්වීම එතරම් හොඳ තීරණයක් නෙමෙයි. මොකද ඔවුන් ඉතාමත් කුඩා සතුන් නිසා වෙනත් සුරතලුන්ගේ ගොදුරක් බවට ඉතා පහසුවෙන් පත්වෙන්න පුළුවන්.

කූඩුවේ පහසුකම්

ඔවුන්ට කූඩුවක් තැනීමේ දී නිදාගැනීමට ආහාර ගැනීමට ස්ථාන වෙන් කරන ලද විශාල කූඩුවක් තනන්න අවශ්‍යයි. සමහරවිට ඔවුන්ට තනිව කාලය ගත කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඔවුන්ට සුවපහසුව සැඟව සිටින්නට පුළුවන් ස්ථානයක්ද කූඩුවේ තියෙන්න ඕන.

සෙල්ලම් කරන්න හා ගවේශනයට ආසයි

මේ සතුන් නිතරම සෙල්ලම් කරන්නට වගේම අවට පරිසරය ගවේෂණය කරන්න කැමතියි. ඒ නිසා කිසිම වෙලාවක මේ සතුන් කූඩුවට කරලා තියන්න එපා. ඔයාට පුළුවන් හැම වෙලාවෙම මේ සතුන් බාහිර පරිසරයට ඇරගෙන යන්න. ඒත් හැම වෙලේම විශාල සතුන්ගේ ගොදුරක් බවට පත් නොවෙන්න වගබලා ගන්න ඕනේ.

ගිනිපිග්ලාගේ ආහාර

ඔයා ගිනිපිග් කෙනෙක් ඇති කරන්න හිතනවනම් ඔවුන්ගේ ආහාර ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද මේ සතුන්ට ඔයාට කැමති ඕනෑම ආහාරයක් ලබා දෙන්න බෑ. හැබැයි වාසනාවකට මොවුන්ගේ ආහාර රටාවට වැදගත් වන ආහාර ශ්‍රී ලංකාවේ අපිට පහසුවෙන් හොයා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද ගිනිපිග් කෙනෙක්ට ආහාර දෙන්න ඕන කියල.

ගිනිපිග්ලගෙ ආහාර වලට නිතරම නැවුම් පිදුරු ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. නැව්ම් පිදුරු ලංකාවේ ගොවි බිම් වලින් වගේම, අවශ්‍ය නම් සුරතල් සතුන්ගේ ආහාර අලෙවි කරන වෙළඳසැල් වලිනුත් හොයාගන්න පුළුවන්.

ඊට අමතරව මේ සතුන්ට නිවිති, මුකුණුවැන්න, සලාද කොළ වගේ කොළ ජාතිත් අහාරයට දෙන්න පුළුවන්. හැම වෙලේම පුළුවන් තරම් නැවුම් කොළ මෙයාලගේ ආහාරයට එකතු කරගන්න අමතක කරන්න එපා.

මේ සතුන්ට පලතුරුත් ආහාරයට දෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා ගිනිපිග්ව හුරු කරන්න ඕන ටිකෙන් ටිකයි. මුලින්ම ඔවුන්ගේ ආහාරයට පලතුරු පොඩි ප්‍රමාණයක් එකතු කරන්න. ඒ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සතුන්ට බඩේ අජීරණ තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.

වැදගත්ම දේ තමයි මේ සතුන්ට නිතර වතුර දෙන්න අවශ්‍ය වෙනවා. කූඩුවක ඇති කරනවනම් කූඩුව ඇතුළත නිතරම ජල බඳුනක් තියන්න අමතක කරන්න එපා.

ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ ගිනිපිග් කෙනෙක් ඇති කරන එක එච්චරම අපහසු දෙයක් නෙමෙයි කියලා දැන් ඔයාට තේරෙනවා ඇති. මේ ගැන ඔයාගේ අදහස මොකක්ද? ඒ වගේම ඔයා දැනටමත් ගිනිපිග් කෙනෙක් ඇති කරන කෙනෙක් නම් ඔයාගේ වටිනා අදහස් පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම්, මේ වගේම වැදගත් ලිපියකින් අපි ආයේ හම්බෙමු.

ලිපිය සඳහා මූලාශ්‍රයන්

Where Are Guinea Pigs From? - petmd.com

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
crossmenu